Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

"ක්‍රිකට්‌ පරිපාලනය අපේ ක්‍රීඩකයන්ගේ මනස විකෘති කරලා , ක්‍රීඩා ඇමැතිවරයා වග කියන්න ඕනෑ , ඕන දෙයක් අතැරලා ක්‍රිකට් සභාපතිකම භාර ගන්නවා" අර්ජුන ගේ ප්‍රකාශයෙන් ක්‍රිකට් යළි ගිණියම් .!

9159Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද යම් මට්ටමක වැජෙබෙනවා නම් , ජනප්‍රියයි නම් ඒ සියල්ලේම පියා ඔහුය. ධේදො සිට පැමින ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දි ලොවම දිනුවේ ඔහුගේ නායකත්වයයි.
ඔහු නම් වර්තමාන ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග යි.
වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවෙ පරිහානිය පිළිබදව ඉරිදා පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා ක්‍රීඩාවේ පරිහානිය මෙන්ම රටේ වත්මන් තත්වය පිළිබදව අදහස් දක්වා තිබුනා.
එම සංවාදය පහතින්

ඊට මත්තෙන් හම්බන්තොට වරාය චීන රජයට බදු දීම මෙන්ම ඔහුගේ නව අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව ද විමසුවෙමු.

ප්‍රශ්නය - ඇමැතිතුමා කලකිරීමෙන්ද පසුවන්නේ?

පිළිතුර - සෑහෙන දුරට කලකිරිලා ඉන්නේ.

ප්‍රශ්නය - කලකිරීමෙන් ඉන්නේ ක්‍රිකට්‌ ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය ගැනද, එසේ නැතිනම් පවතින දේශපාලන තත්ත්වය ගැනද?

පිළිතුර - ක්‍රිකට්‌ ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය පිළිබඳව තමයි කලකිරිලා ඉන්නේ.

ප්‍රශ්නය - ආණ්‌ඩුව ගැන කලකිරීමක්‌ නැද්ද?

පිළිතුර - නැහැ. දේශපාලනය ගැන කලකිරීමක්‌ නැහැ. මුල් අවුරුදු දෙකේ බොහොම අමාරුවෙන් ඇදගෙන ගියා. එහෙම වුණේ රටේ ආර්ථිකය දුර්වල තැනක තිබූ නිසයි. අපි අද වෙනකොට එය හොඳ තැනකට ගෙනත් තිබෙනවා. රටේ ප්‍රධානම පක්‍ෂ දෙක එකට එක්‌වී රටේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් ඉදිරියට යනවා.

ප්‍රශ්නය - ඔබ පවසන්නේ වත්මන් දේශපාලනය ගැන ඔබට කලකිරීමක්‌ නොමැති බවයි. නමුත් ඔබ මීට පෙර දැරූ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයෙන් ඔබව ඉවත් කිරීම පිළිබඳ පැහැදිලි හේතුවක්‌ දකින්නට නැහැ. 

පිළිතුර - මෙහෙමයි. මට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කතා කරලා පැවසුවේ මේ අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු ගොඩාක්‌ තිබෙන නිසා එය ගොඩනඟාදෙන ලෙස. මේ අමාත්‍යාංශය හදලා දෙන ලෙස එතුමා කිව්වා. ඒකට ප්‍රධානම හේතුව වුණේ අවුරුදු දෙකක්‌ තුළ මම වරාය අමාත්‍යාංශයේ මිලියන එකොළහක ලාභයක්‌ ලබාදීමයි. එසේම අපේ වරාය තුළ හොරු දූෂිතයෝ ඉවත් කර ලෝකයේ හොඳ තැනකට එය ගෙන ඒමත් මීට හේතුවක්‌ වුණා. වරාය ඇමැතිවරයා ලෙස කළ කටයුතු පිළිබඳ මම ආඩම්බර වෙනවා වගේම සතුටු වෙනවා. හුඟදෙනකුට කළ නොහැකි වූ දේවල් ඒ දෙවසර තුළ මම සිදුකළා.

ප්‍රශ්නය - ඇමැතිතුමා පවසන්නේ ජනාධිපතිතුමන් මෙම අමාත්‍යාංශය ඔබට භාරගෙන ගොඩනගා දෙන මෙන් ඉල්ලීමක්‌ කළ බවයි. නමුත් ජනතාව මෙන්ම විපක්‍ෂය කියන්නේ හම්බන්තොට මාගම්පුර වරාය චීනයට බදුදීමට කටයුතු පහසු කරගැනීම පිණිස ඔබව ඉන් ඉවත් කළ බවයි.

පිළිතුර - ඒක මම දකින්නේ මෙහෙමයි. මම හැම විටම බැලුවේ මේ රටේ පුරවැසියෙක්‌ ලෙස මේ රටට හොඳ දෙයක්‌ කරන්නයි. ඇමැතිවරයා ලෙස එය මට කරන්න ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් කවදාවත් බාධාවක්‌ කළේ නැහැ.

ප්‍රශ්නය - බාධා නොකළේ කුමක්‌ කරන්නද?

පිළිතුර - අමාත්‍යාංශයේ වැඩ කරන්න ඔවුන් බලපෑම් කළේ නැහැ.

ප්‍රශ්නය - මාගම්පුර වරාය බදු දීමේ ගිවිසුම ගැන ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර - ඔය ගිවිසුම අපි වෙත ගෙනාවේ අපි බලල නොවෙයි. විෂය භාර ඇමැතිවරයා ලෙස මමවත් වරාය අධිකාරියත් එය දන්නේ නැහැ. අපි දැකල නැති ගිවිසුම මේ රටේ ලේකම්වරු පස්‌දෙනෙක්‌ අත්සන් කර තිබුණා. සාමාන්‍යයෙන් සිදුවිය යුතුව තිබුණේ වරාය අධිකාරිය චීන සමාගම සමඟ සකච්ඡා කරමින් යන විටයි ගිවිසුමක්‌ හදන්න තිබුණේ. එතන තමයි අපි කරගත්ත ප්‍රධාන වරද. ඒ නිසා මම එයට එකඟ වුණේ නැහැ.

ප්‍රශ්නය - එම ගිවිසුමට සංශෝධන ගණනාවක්‌ එක්‌කිරීමට සිදුවුණා.

පිළිතුර - ඔව්... එම ගිවිසුමට අපි සංශෝධන තිහක්‌ පමණ එක්‌ කළා. ඒකෙන් හුඟක්‌ දේවල් අපට කරගන්න හැකිවුණා. මට අවශ්‍ය වුණේ අයිතියෙන් වැඩි කොටසක්‌ රටට ගන්නයි. ඒ වගේම වරාය අධිකාරිය නැතිවෙන ආයතනයක්‌ බවට පත් නොකිරීමට මට ඕන වුණා. රටට තවත් වරාය අධිකාරියක්‌ එයි කියන සැකය අපට තිබුණා. ඒක නවත්වන්න අපි උත්සාහ කළා. අපේ උත්සාහයන් ගොඩක්‌ සාර්ථක වුණා. ඒ අතර තමයි මට එළියට යන්න සිදුවුණේ. එක අතකින් මම සංතෝස වෙනවා එම අමාත්‍යාංශයේ ඇමැතිවරයා ලෙස නොමැතිවීම පිළිබඳව.

ප්‍රශ්නය - ඒ කියන්නේ පවකට කරගහන්න නොලැබීම නිසාද?

පිළිතුර - කවුරු මොනව කිව්වත් හම්බන්තොට වරාය කියන්නේ හොඳ තැනක්‌. කොහොම වුණත් රටට මුදල් අවශ්‍යතාවයක්‌ තිබුණා.

ප්‍රශ්නය - මාගම්පුර වරාය චීන රජයට බදු දුන් ආකාරය පිළිබඳ ඔබට සෑහීමකට පත්වන්න පුළුවන්ද?

පිළිතුර - මේ තියෙන ගිවිසුම පිළිබඳ මගේ එතරම් සතුටක්‌ නැහැ. ඇත්ත කිව්වොත් අපි තව තදට හිටිය නම් මීට වඩා දෙයක්‌ හදාගන්න තිබුණා. මූලික ක්‍රමවේදය නිසියාකාරව සිදු නොවුණු බව මම කැබිනට්‌ එකේදීත් සඳහන් කර තිබෙනවා. අද තිබුණු ගිවිසුම ඔය ගාණට හරි ගේන්න වරාය අධිකාරියේ ප්‍රධාන අය ලොකු වැඩ කොටසක්‌ කළා. නැත්නම් මීට වඩා දරුණු දේවල් තමයි මුල් ගිවිසුමේ තිබුණේ. මීට වඩා තද කරන්න තිබුණා කියන එකයි මගේ විශ්වාසය.

ප්‍රශ්නය - එහෙනම් ඔබට මීට වඩා සටනක්‌ ඒ වෙනුවෙන් ලබාදෙන්න තිබුණා නොවේද? එදා ක්‍රිකට්‌ නායකයකු සිටින අවධියේ අප රටට එරෙහිව කටයුතු කළ විනිසුරුවන් වන රෝස්‌ එමසන්ලට ඩැරල් හෙයාර්ට එරෙහිව නැගී සිටීමට තිබූ එඩිතරබව, සටන්කාමීත්වය දේශපාලනඥයකු වූ පසු ඔබගෙන් ගිලිහී ගොසින්ද?

පිළිතුර - නැහැ. එහෙම නැහැ. අපට ආයෝජකයන්ව නැති කරගන්න බැහැ නේ. මම වරායේ නායකයා වෙලා ඉන්නකොට මට ඕන දේ කරන්න මම කටයුතු කළා. ආයෝජකයකු මුදල් අරන් එන්නේ ලාභයක්‌ ලබන්න. ඒ දේ අමතක කරන්න හොඳ නැහැ. හැබැයි ඔවුන්ට වවාගෙන කන්න දෙන්න බැහැ. ගිවිසුම ඇතිකර ගත යුත්තේ කොහොමද කියලා මගේ වගකීම මම කළා.

ප්‍රශ්නය - ඔබ කියන්නේ ඔබ තවම සටන්කාමියකු බවයි.

පිළිතුර - අපොයි ඔව්... මම දේශපාලනයට ආවේ මුදල් හම්බ කරගන්නවත් නමක්‌ හදාගන්නවත් නෙමෙයි. මට ඇතිකරගන්නවත් නැති කර ගන්නවත් දෙයක්‌ නැහැ. මම හරි දේ කරනවා. එහෙම කරන්න බැරිවුණු දවසකට ආණ්‌ඩුවෙන් එළියට බහිනවා. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවෙනුත් මුලින්ම එළියට බැස්‌සේ මමයි. පක්‍ෂ දේශපාලනයට මගේ වැඩි කැමැත්තක්‌ නැහැ. මේ රට විනාශ කළේ පක්‍ෂ දේශපාලනය තමයි. එහෙම කිව්වා කියලා පක්‍ෂවල අය මට බණීවි. එය තමයි යථාර්ථය.

ප්‍රශ්නය - නව අමාත්‍යාංශයේ වැඩ කටයුතුවල තත්ත්වය කෙසේද?

පිළිතුර - තවම අමාරුම නැහැ. වරායෙදීත්a ප්‍රශ්න වුණා. මෙහෙත් වෙන්න පුළුවන්. කොහේ සිටියත් මම හරි දේ කරනවා.

ප්‍රශ්නය - ඛනිජ තෙල් සංස්‌ථාවේ මෑතකදී වැඩවර්ජනයක්‌ තිබුණා. එහිදී වර්ජකයන්ගේ ප්‍රධාන ඉල්ලීමක්‌ වූයේ ගිවිසුම අනුව හම්බන්තොට වරාය චීනයට ලබාදන විට එහි ඇති තෙල් ටැංකි අප වෙත පවරා ගන්න කියන ඉල්ලීම. මේ වන විට එහි තත්ත්වය කෙබඳුද?

පිළිතුර - ගිවිසුම අනුව ඒ අය තෙල් ටැංකි ඔවුන්ට ඉල්ලා තිබෙනවා. එම ටැංකිවලට වියදම් කර ඇත්තේ වරාය අධිකාරියයි. ඒ ටැංකි අපට තිබෙනව නම් හොඳ ව්‍යාපාරයක්‌ එහි කරන්න තිබුණා. නමුත් ගිවිසුමේ ඇති කරුණු අනුවයි එය සිදුවන්නේ. මෙය වෙනස්‌ කරන්න අවශ්‍ය නම් ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි එය කරන්න හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය - ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදෙන්න යන බව සඳහන් වෙනවා.

පිළිතුර - ඉන්දියානු තෙල් සමාගමට ත්‍රිකුණාමලය තෙල් ටැංකි දෙන්න අපි හිටපු ජනාධිපතිsනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියගේ කාලෙදී ගිවිසුමක්‌ අත්සන් කරලයි තිබෙන්නේ. උසාවියේ නඩුවක්‌ තිබෙන නිසා එහි නීතිමය පැත්ත මට කියන්න බැහැ. කොහොම වුණත් අපට අවශ්‍ය දේ අපි හදාගෙන යනවා. තව සති දෙක තුනක්‌ යනකොට එහි සාකච්ඡා අපි පටන් ගන්නවා.

ප්‍රශ්නය - සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ ටැංකි ප්‍රතිසංස්‌කරණය කරන බවට අගමැතිතුමා පොරොන්දු වුණා. එහි තත්ත්වය කෙසේද?


පිළිතුර - ආයෝජකයන් සමඟ අපි කතා කරන ගමන් සිටින්නේ. ඇත්ත තත්ත්වය තමයි අපට මුදල් නොමැති වීම. ඒ නිසා ආයෝජකයෙක්‌ ලවා මෙය හදාගැනීම මගේ අපේක්‍ෂාවයි. ඔවුන්ට වියදම පියවාගෙන ලාභයක්‌ ලැබීම සඳහා අමු තෙල් අපට සපයන්න අපි ඔවුන්ට ඉඩ දෙනවා. ඒ යම් කාලයක්‌ සඳහා පමණයි. මගේ යෝජනාව එයයි. එසේ නොමැතිව ඩොලර් බිලියන දෙකක්‌ ලංකා ආණ්‌ඩුවෙන් ගත්තොත් අප රටේ ආර්ථිකය නැත්තටම නැති වේවි. රටවල් ගණනක්‌ දැනට මගේ යෝජනාවට සහාය පළකර තිබෙනවා. මේ වසරට කලින් එහි වැඩ පටන් ගන්න හැකි වේවි.

ප්‍රශ්නය - සහාය දක්‌වන්නේ කිනම් රටවල්ද?

පිළිතුර - ඉරානය, නෝර්වේ, සිංගප්පූරුව, මැලේසියාව, සවුදි අරාබිය, ඩුබායි යන රටවල් අපට සහාය පළකර තිබෙනවා. ළඟදී ඒ අය සමග අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කර වැඩ පටන් ගන්නවා.

ප්‍රශ්නය- තෙල් මිල පහළ දාන්න අදහසක්‌ නැද්ද?

පිළිතුර - මේ කටයුතු අවසන් වූ පසු ඒ පිළිබඳ බලන්න පුළුවන්.

ප්‍රශ්නය - ඇමැතිතුමා අපි ක්‍රිකට්‌ ක්‍රීඩාව දෙසට යොමු වෙමු. අප රටට ලෝක කුසලානයක්‌ දිනා දුන් නායකයා ලෙස දැන් අප රටේ පවතින ක්‍රිකට්‌ ගැන මොකද හිතෙන්නේ?

පිළිතුර - මේ ක්‍රිකට්‌ පරිපාලනය අපේ ක්‍රීඩකයන්ගේ මනස විකෘති කරල තිබෙන්නේ. ඒ වගේම ක්‍රීඩකයන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක්‌ නැතිවෙලා. ක්‍රිකට්‌ ගැන නොදන්න අය ක්‍රිකට්‌ ක්‍රීඩාව විනාශ කරලයි තිබෙන්නේ.

ප්‍රශ්නය - නොදන්න අය කිව්වේ කාටද ඇමැතිතුමා?

පිළිතුර - පරිපාලනයේ ඉන්න ක්‍රිකට්‌ සභාපතිවරයා තමයි නොදන්නවා කිව්වේ. අප රටේ සිටිය හොඳම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දෙපළක්‌ වන සනත් ජයසූරිය හා අසංක ගුරුසිංහ දෙපැත්තේ සිටියදී ඔහු ක්‍රිකට්‌ ගැන කතා කරනවා. ගාමිණි දිසානායක, ටිරෝන් ප්‍රනාන්දු මහත්වරු කවදාවත් ඔය දේ කළේ නැහැ. දැන් ක්‍රිකට්‌ ගැන කතා කරන්නේ සුමතිපාල. පරිපාලනය ගැන කතා කරන්න කවුරුවත් නැහැ.

ප්‍රශ්නය - තිලංග සුමතිපාල මහත්මයා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපති වුණේ නිලවරණයකින්.

පිළිතුර - නීතිය අනුව නුසුදුසු අයයි සහභාගි වුණේ. අපි ඊට විරුද්ධව චෝදනා පත්‍ර යොමු කළා. මේ ගැන ක්‍රීඩා අමාත්‍යාංශය තනිකර බොරුවක්‌ කළේ. පසුව අපි මානව හිමිකම් එකට ගියා. අවුරුද්දක්‌ ගත වුවත් වාර්තාවක්‌ නැහැ. මේවා සිදුවන්නේ අපි හදපු ආණ්‌ඩුවක්‌ තුළයි. ඒකයි අපි කියන්නේ මේවා හැදෙන්න ඕන කියලා.

ප්‍රශ්නය - ඔබ ඔය සඳහන් කරන කාරණා සඳහා වගකිව යුත්තේ කවුරුන්ද?

පිළිතුර - ක්‍රීඩා ඇමැතිවරයා තමයි වග කියන්න ඕනෑ. ඔහු ක්‍රීඩා නීතිය දන්නේ නැත්නම් තනතුර දැරීමෙන් පලක්‌ නැහැ. තිලංග සුමතිපාල මේ තනතුර සඳහා සුදුසු නැත්තේ ඇයි කියලා මම ලිඛිතව දන්වා තිබෙනවා. කිසිවකට මේ දක්‌වා උත්තරයක්‌වත් නැහැ. මේ ක්‍රීඩා ඇමැතිවරයා මේ පුද්ගලයාව ආරක්‍ෂා කරන බව මේ අනුව පෙනෙන දෙයක්‌.

ප්‍රශ්නය - ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපතිව ආරක්‍ෂා කරන්නේ ඇයි කියලද ඔබ හිතන්නේ.?

ප්‍රශ්නය - දේශපාලන හේතු නිසාද වෙනත් ලාභ ප්‍රයෝජන නිසාද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ හරහා ක්‍රිකට්‌ ක්‍රීඩාව නැත්තටම නැති වෙනවා.

ප්‍රශ්නය - වර්තමානයේ ක්‍රිකට්‌ ක්‍රීඩාව පත්ව ඇති ඉරණම පිළිබඳ ඔබ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව දන්වා සිටියා. ඊට ලැබුණු ප්‍රතිචාර කෙබඳු ද?

පිළිතුර - එය ලබාදීලා තවම දවස්‌ තුන හතරයිනේ. ඉන්දියානු සංචාරය අවසන් වනවිට ක්‍රිකට්‌ පත්ව තිබෙන තත්ත්වය මේ ගැන සාකච්ඡා විය යුතුයි. ක්‍රිකට්‌ ක්‍රීඩාව නිසා මීළඟ මැතිවරණයේ ප්‍රතිඵලත් යම් වෙනසක්‌ විය හැකියි.

ප්‍රශ්නය - ක්‍රිකට්‌ අතුරු පාලක මණ්‌ඩලයක්‌ පත් කළ යුතු බව ඔබ සඳහන් කර තිබුණා.

පිළිතුර - ක්‍රිකට්‌ අතුරු පාලක මණ්‌ඩලයක්‌ පත් කළ යුතුයි.

ප්‍රශ්නය - එවිට ක්‍රිකට්‌ නගාසිටුවන්න හැකිවේවිද?

පිළිතුර - අනිවාර්යයෙන්ම හැකි වෙනවා. හරි පුද්ගලයන් ඒකට ඇතුළත් කළ යුතුයි.

ප්‍රශ්නය - එයට ඔබතුමා ඇතුළත් විය යුතුයි කියලද කියන්නේ.

පිළිතුර - මොන වැඩක්‌ තිබුණත් මට එය භාර දුන්නොත් මම ගන්නවා.

ප්‍රශ්නය - ඔබට අවශ්‍ය සහාය ලැබෙයිද?

පිළිතුර - මම ඔතැනට පැමිණියහොත් ප්‍රධාන ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක්‌ මා සමග වැඩට බහිනවා. ලෝක කුසලානය දිනූ කණ්‌ඩායමේ ක්‍රීඩකයෝ කිහිපදෙනකුම ක්‍රිකට්‌ පරිපාලනයේ ඉන්නවා. නමුත් ඔවුන්ට වැඩක්‌ කරන්න දෙන්නේ නැහැනේ.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම දිගින් දිගටම ලබන පරාජයත් සමග කණ්‌ඩායමේ සිදුවන වෙනස්‌කම් ගැන ඔබගේ අදහස කෙබඳු ද?

පිළිතුර - පරාජයන් සමග හිටපු පුහුණුකරුට දොස්‌ කියලා එළවලා දැම්මා. ඉන්පසු ඇන්ජලෝ මැතිව්ස්‌ එළවලා දැම්මා. මගේ පෞද්ගලික මතය එය නොකළ යුත්තක්‌ බවයි. මම ක්‍රිකට්‌ පරිපාලනයේ සිටියනම් එය සිදුවන්න දෙන්නේ නැහැ. මැතිව්ස්‌ කියන්නේ මම දැකපු හොඳ නායකයෙක්‌.

ප්‍රශ්නය - පරාජයන් සමග ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඉල්ලා අස්‌වුණා. ඒ ගැන අදහස කෙසේද?

පිළිතුර - අන්තිමට කුණුගොඩ ගියේ තේරීම් කමිටුවට. හැබැයි පරිපාලනයේ අය අස්‌වෙන්න තියා ක්‍රිකට්‌ බෝඩ් එකෙන් එළියට එන්නේවත් නැහැ. එතැන ඉන්නේ කූඩැල්ලෝ ටිකක්‌. ඔවුන් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සාරය උරාබොන කූඩැල්ලෝ ටිකක්‌. හම්බ කර ගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රායයි. මේ අය ක්‍රිකට්‌වලට කළ විනාශය පිළිබඳ මම විවෘතව හෙළි කරනවා. එවිට මහ මැතිවරණයේදී එහි ආදීනව එම අයට ලැබේවි.

ප්‍රශ්නය - තේරීම් කමිටුව ඉල්ලා අස්‌වීම ප්‍රශ්නයට විසඳුමක්‌ නෙවෙයිද?

පිළිතුර - පිළිකාවක්‌ තියෙන ගහේ අත්තක්‌ ඉවත් කළා කියල පිළිකාව හොඳ වෙනවද. ක්‍රීඩා ඇමැතිවරයත් තේරීම් කමිටුව ඉල්ලා අස්‌වන විට ලියුම ගන්නවා. හරි දේ කරන්න ක්‍රීඩා ඇමැතිවරයාට කොන්දක්‌ තියෙන්නෙ ඕනෑ. පරිපාලනයේ ඉන්න අය තේරීම් කමිටුවට අතගසන බව අපට තොරතුරු ලැබිලා තියෙනවා. එහෙම දෙයක්‌ නැත්නම් සනත් ජයසූරිය ඒ ගැන එළියට ඇවිත් කියන්න ඕනෑ. සනත් තවම එහෙම කළේ නැහැනේ. අපිත් සමග සෙල්ලම් කළ අයනේ ඔය කට්‌ටිය. ඒ නිසා ඔවුන් අපටත් කතා කරනවා. ක්‍රිකට්‌ මාෆියාව ඇමැතිවරයා දැන ගත යුතුයි. පරිපාලනයට වැඩ කරන්න අවස්‌ථාව ලබාදී ක්‍රිකට්‌ මේ තත්ත්වයට පත් කළේ ක්‍රීඩා ඇමැතිවරයායි.

ප්‍රශ්නය - ක්‍රිකට්‌ තරග මුදලට පාවා දෙනවා යෑයි ඔබට සැකයක්‌ තිබෙනවාද?

පිළිතුර- ක්‍රීඩකයන්ට මම ඇඟිල්ලක්‌ දික්‌ කරන්නේ නැහැ. නමුත් මට විශාල සැකයක්‌ තිබෙනවා. මං දන්න මහත්තයෙක්‌ මට ඒ පිළිබඳව වන කොළ දෙකක්‌ ගෙනැත් දුන්නා. මේක මුළු රටම දැන් දන්නවා.

ප්‍රශ්නය - ඇමැතිතුමත් ඔට්‌ටුවක්‌ ඇල්ලුවද?

පිළිතුර - මම ඕවට යන්නේ නැහැ. මම ඔට්‌ටුකාරයෙක්‌ නෙවෙයි. මේ රටේ මේවා වෙනකොට ක්‍රීඩා ඇමැතිවරයා ඒ පිළිබඳ දකින්නේ නැද්ද? 

ප්‍රශ්නය - දඹුල්ල, නුවර සිද්ධීන් සහ තරග පරාජය දෙස බලා ඔබ කාලකණ්‌ණි සතුටක්‌ ලබන බව ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපති මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.

පිළිතුර - සූදුකාරයෝ හිතන්නේ එහෙම තමයි. දුප්පත් මිනිසුන් හම්බ කරන මුදල් රේස්‌ දාන්න අරගෙන ඒ මුදල්වලින් තමන්ගේ දරුවන්ට කන්නදී කාලකණ්‌ණි සතුටක්‌ ලබනවා. මට කාලකණ්‌ණි සතුටක්‌ ලබන්න බැහැ. මේ තත්ත්වය දැකලා මට කාලකණ්‌ණි දුකක්‌ දැනෙන්නේ. අපේ දෙමව්පියෝ අපට කාලකණ්‌ණි දේවල් කරන්න දුන්නෙත් නැහැ. අපි අපේ දරුවන්ට කාලකණ්‌ණි ලෙස කන්න බොන්න දී නැහැ.

ප්‍රශ්නය - ක්‍රිකට්‌ ඒජන්තවරුන් ක්‍රිකට්‌ ක්‍රීඩාවට බලපෑම් කරන බව සඳහන් වෙනවා. විශේෂයෙන් බ්‍රිතාන්‍ය ජාතික චාලි ඔස්‌ටින් වැනි පුද්ගලයන්.

පිළිතුර - ඒජන්තවරු අවශ්‍ය නැහැ. මේ අය වෙනුවෙන් ක්‍රිකට්‌ පරිපාලනය මොනවද කරල තියෙන්නේ. අප රටට ක්‍රිකට්‌ ඒජන්තවරු ඕන නැහැ. නමුත් එක පැලැන්තියක්‌ ඉන්නවා, ඔවුන් හරහා මුදල් හම්බ කරන. ඒ අය ක්‍රිකට්‌ ක්‍රීඩාවේ විනාශයට පාර කපලා තියෙනවා. ක්‍රිකට්‌ බෝඩ් එක තමයි ඒජන්තවරයා වෙන්න ඕන.

ප්‍රශ්නය - තේරීම් කමිටු සභාපතිව සිට ඉල්ලා අස්‌ වූ සනත් ජයසූරිය මහතාට හොඳ ආදේශකයා කවුරුන්ද?

පිළිතුර - ඇමැතිතුමාට නම් ටිකක්‌ හොයාගන්න පුළුවන්වේවිද දන්නේ නැහැ. කෙළිsන් කතා කරන කෙළින් වැඩ කරන කිසිවකු එන එකක්‌ නැහැ.

ප්‍රශ්නය - තේරීම් කමිටු සභාපති ධුරය සඳහා රොෂාන් මහානාම මහතා නම් කිරීමට යන බව පැවසෙනවා.

පිළිතුර - අනාථ වූ අය ආවොත් මිසක්‌ කොන්දක්‌ පණ තියෙන කෙනෙක්‌ එන එකක්‌ නැහැ. 

ප්‍රශ්නය - ක්‍රිකට්‌ ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වයෙන් ගොඩනැඟීමට යෑමට එක්‌වන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා ආරාධනයක්‌ කරනවා.

පිළිතුර - මේ පරිපාලනයට වැඩ කරන්න බැහැ කියලා දයාසිරි ඇමැතිතුමා තේරුම් ගෙන තියෙනවා. දැන් ඉන්න හොඳ මිනිස්‌සුන්ට කියනවා සාකච්ඡා කරන්න එන්න කියලා. මේ මොන පට්‌ටපල් බොරුවක්‌ ද? මේ රටේ මිනිසුන්ව අන්දන්න හදන වැඩක්‌. මම නම් ඔය ෂෝ එකට යන්නේ නැහැ.

ප්‍රශ්නය - ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සහ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපති තිලංග සුමතිපාල යන මහත්වරුන් සමග තරහක්‌ තියෙනවද?

පිළිතුර - කිසි තරහක්‌ නැහැ. ඔය කාත් සමගවත් මගේ තරහක්‌ නැහැ. තිලංග කියන්නේ මගේ අතීත මිත්‍රයෙක්‌. කවුරුත් දන්නවා ඒ අයගේ ව්‍යාපාර මොනවද කියලා. ඒ පැත්තෙන් බැලුවහම මේ තනතුර දරන්න ඔහුට බැහැ.

ප්‍රශ්නය - එතකොට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහත්තයා...

පිළිතුර - එතුමා සමගත් මගේ තරහක්‌ නැහැ. නමුත් අපි හදපු ආණ්‌ඩුවට පැමිණ ඇමැතිවරයෙක්‌ වැරදි පුද්ගලයන්ව ආරක්‍ෂා කරනවා නම් ඊට එරෙහිව මට ක්‍රියා කරන්න වෙනවා. ක්‍රිකට්‌ වෙනුවෙන් කතා කරන්න එපා කියලා කාටවත් මට කියන්න පුළුවන් කමක්‌ නැහැ. 

 

සංවාදය : දිවයින

YOU MAY ALSO LIKE