Tuesday, September 26, 2017
Hotline - 0770586666

පාන්දර තුන පහුවෙලා... මට හිතුණා අනිවාර්යෙන් මල්ලිව මරලා කියලා...- ඔය මල්ලි විදියට හැසිරෙන අය අතර තමයි ගැටුම් ඇති වෙන්නේ... ඇයි කියලා මල්ලිවත් උන්වත් කියන්නේ නැහැ..

42697Views

දඹුල්ල මූලික රෝහල ඉදිරිපිට වාහන නැවතුම්පොළ, සතිපොළට පිවිසුම් මාර්ගය මෙන්ම සපත්තු මහන ස්ථානය, දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේ ප්‍රසිද්ධ වී ඇත්තේ කාමයේ හැසිරෙන්නන්ගේ කලාපයක් හැටියටය. එය ලොකු කුඩා ඕනෑම අයකු හොඳටම දන්නා කාරණයකි. එම ස්ථානයන්හි සේවය කරන ත්‍රිරෝද රථ කුලීකරුවෝ කීප දෙනෙක්ම දිවා රාත්‍රි මෙම ව්‍යාපාරයට උදවු උපකාර කරති.

මාසයකට අවස්ථා ගණනාවක්ම දඹුල්ල පොලිසියෙන් මේ ස්ථාන වටලා දිවා කාලයට වීදිවල රැඳී සිටිමින් ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් මෙන්ම රාත්‍රි කාලයේ කාන්තා ඇඳුම් පැලඳගෙන සිටින පිරිමින්ද අත්අඩංගුවට ගැනීම් සිදු කරති.
කාලයක සිට මේ කණ්ඩායම් දෙකටම පොලිසියේ හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරු විටින් විට අවවාද කළහ. අධිකරණයට ඉදිරිපත් කර අධිකරණය හරහා අවවාද ලබාදීමට සැලැස්වූහ. එහෙත් ඔවුහු සුපුරුදු පරිදි ස්වකීය චර්යාවන් පවත්වාගෙන ගියහ.

මීට වසර කීපයකට පෙර දඹුල්ල නගරයේ ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියකගේ නිරුවත් මළ සිරුරක් අතුපාරයාය පාර ප්‍රදේශයේ ඇළක තිබී පොලිසිය සොයාගෙන තිබිණි. එමෙන්ම දඹුල්ල නගරයේ රාත්‍රි කාලයේ සැරිසරන සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක් තමන් ආදරය කරන තරුණයකු හා විවාහ වීමට සූදානම් වන බවට ලද ආරංචියක් නිසා ඔහුව හබරණ ප්‍රදේශයේ ගල් තලාවකට රැගෙන ගොස් පිහියකින් ඇන ඝාතනය කර තිබිණි.

මිනීමැරුම් දක්වා දුරදිග ගිය මෙවැනි ගැටුම් දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේත් දඹුල්ල නගරයේ සිදුවෙමින් පැවතිණි. මේ අතර පසුගියදා තවත් ඛේදවාචකයක් පොලිසියට වාර්තා විය. ඒ ගෙවුණු බිනර පුන් පෝයදා (05දා) අලුයම තුනට පමණය. දඹුල්ල නගරයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් නගරය තුළ රාත්‍රි සංචාරක ආරක්ෂක බළකායක් ක්‍රියාත්මක කරගෙන යයි. එම ආරක්ෂක නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වූ එම සිද්ධිය රටම කම්පාවට පත් කරන්නක් වී තිබිණි.

මෙම ආරක්ෂක නිලධාරීන් පොලිසියට ගොස් දැනුම්දී තිබුණේ දඹුල්ල රෝහල ඉදිරිපිට කුලී රථ ගාලේ මල් ශාලාවක් ආසන්නයේ කාන්තාවක් ලේ පෙරාගෙන වැටී සිටින බවය. එම ස්ථානයේ ලේ තැවරුණු පොලු කැබැලිද පවතින බව ඔවුහු පොලිසියට කීහ. දඹුල්ල පොලිසියේ රාත්‍රි සේවයේ සිටි නිලධාරීන් වහාම මේ පිළිබඳව දුරකතනය මඟින් මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්නට දැනුම්දී ඔහුගේ උපදෙස් පරිදි පොලිස් ජංගම රථය ස්ථානයට යැව්වේය. ඒ වනවිටත් කීපදෙනෙක් ස්ථානයට පැමිණ සිටියහ. ඔවුන්ගේ මතය වූයේ මෙසේ වැටී සිටින කාන්තාවට සිහිය ඇති බවය.

රෝහල ආසන්නයේම පවතින නිසා පොලිසියේ මැදිහත්වීමෙන් වහාම තුවාල ලබා සිටි තරුණිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. වෛද්‍යවරු කීවේ ඒ වනවිටත් මේ තැනැත්තිය මියගොස් ඇති වගය. එහෙත් මේ කාන්තා ඇඳුම් පැලඳ සිටින්නේ පිරිමි අයකු බව රෝහල් සේවකයෝ පොලිසියට ප්‍රකාශ කර සිටියහ.
පරීක්ෂා කර බලද්දී පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ නිතර නිතර නගරයේ රාත්‍රි කාලයේ සැරිසරන සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක් බවත් ඔහු නිරන්තරයෙන් කාන්තාවකට සමාන හැසිරීම් සහිතව සිටින බවත්ය.

මෙසේ මියගොස් තිබුණේ දඹුල්ල _ වල්ගම්වැව ප්‍රදේශයේ පදිංචි සනත් කුමාර (34) අවිවාහක තරුණයෙක් බව පොලිසිය විසින් අනාවරණය කරගත්තේය. පොලිසිය මේ සිද්ධිය මියගිය තරුණයාගේ ඥාතීන්ට දැනුම්දීමට පෙර ඥාතීන් දඹුල්ල රෝහලට පැමිණ තිබිණි. ඒ අතර රෝහල් භූමියේදී මියගිය සනත්ගේ සහෝදරියක විලාප තබමින් මේ අපරාධය ගැන කියමින් සිටියාය. තමන්ට මියගිය තම මල්ලිගේ දුරකතනයෙන් යමකු කතාකර ඔහුව මරා දැමූ බව දැනුම්දුන් අයුරු කියමින් විලාප තබන්නට වූවාය. ඇය අපට කී කතාව මෙසේය.

"පාන්දර තුන පහුවෙලා. මට මතක හැටියට මගේ ෆෝන් එකට කෝල් කීපයක් ආවා. මම ඇහැ ඇරලා බලනකොට මල්ලිගෙන්. මම ඉක්මනට ඒක ආන්සර් කළා. මොකද එයා කරදරයක් වුණාම විතරයි මට කතා කරන්නෙ. පොලිසියෙන් ඇල්ලුවොත්, උන් උන් අතරේ ගහගත්තොත් බේරාගන්ඩ කියලා කතා කරනවා. ඒ නිසා ආන්සර් කළාම මල්ලිගේ කටහඬ නෙවෙයි වෙන කෙනෙක් මගේ නම කියලා අක්කා කියලාම කතා කරලා කුණුහරුපෙන් බැනලා මට කිව්වා ඕන් මල්ලි ටවුමේ ඉන්නවා, ගිහින් බලපං කියලා. මම ආයෙත් මල්ලිගේ ෆෝන් එකට කෝල් ගත්තා. ආයෙත් උෟ තමයි ආන්සර් කළේ. උෟ මට හොඳටම බැන්නා. මමත් උෟට බැන්නා. හැබැයි මට අඳුන ගන්න බෑ කවුද කියලා. මට හිතුණා අනිවාර්යෙන් මල්ලිව මරලා කියලා.

මීට කලින් අවස්ථා කීපයකදීම මල්ලිට හොඳටම ගහලා පාරේ දාලා තිබුණා. බොහොම අමාරුවෙන් තමයි සනීප කර ගත්තේ. ආයේ දවසක් මල්ලිව කපලා තිබුණා. මම බේරගන්න ගිහින් මටත් තුවාල වුණා. එයාලා එක්කම ඉන්න ඔය මල්ලි විදියට හැසිරෙන අය අතර තමයි ගැටුම් ඇති වෙන්නේ. ඇයි කියලා මල්ලිවත් උන්වත් කියන්නේ නැහැ. ආයෙත් උන් හොඳට කතා කරලා රට වටේ යනවා. පෙරහැරවලට, සංගීත සන්දර්ශනවලට එක එක තැන්වල ගිහින් ආයෙත් ගහගන්නවා. එයාට අපි නිතර නිතර කියනවා රෑ ගමන් නවත්වන්ඩ කියලා. දැන් එන්නේ අපිට හොරෙන්."
ඇය එසේ කියද්දී මියගිය තරුණයාගේ පියා මහා හයියෙන් රෝහල් භූමියේ විලාප තබන්නට වූයේය. 'මගේ පුතා අහිංසකයෙක්. ගෑනි වගේ හිටපු මගේ පුතාට මේ අපරාධය කළේ කවුද? දෙයියනේ" කියමින් හේ විලාප තැබුවේය.

පවුලේ සියලු දෙනා ඔහුට දැඩි ලෙස අවවාද කළද ඒ සියල්ල පසෙකලා ඔහු නිතර නිතර මිතුරන් සමඟ විවිධ ගමන් බිමන් විවිධ උත්සව නිරූපණ වැඩසටහන්වලට සහභාගි වී තිබුණේය. නිරන්තරයෙන් කාන්තා ඇඳුම් ඇඳීම, කාන්තා විලාසිතා කිරීම, කාන්තා අත් බෑගය, කුඩය ඔහු පාවිච්චි කළේය.
දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න කීවේ මෙම ඝාතනයේ සුලමුල පිළිබඳව වැදගත් සාක්කි තොරතුරු රැසක් පොලිසියට ලැබී තිබෙන බවය. ඉක්මනින් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන යා හැකි බවය. මෙම මියගිය පුද්ගලයා තවත් කීප දෙනකු සමඟ මියගිය දිනයේ රාත්‍රි කාලයේ මත්පැන් සාදයක්ද පවත්වා ඇත. ස්ථාන කීපයකදීම මියගිය අයට පහරදීම් සිදුව ඇති බවට පරීක්ෂණවලදී හෙළිවී තිබෙන බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කීවේය.

කෙසේ වෙතත් දඹුල්ල නගරයේ සිදුවන මෙම අසම්මත ලිංගික ඇසුරු ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ දඹුල්ල රෝහල ඉදිරිපිට පදිංචිකරුවන් විසින් කරන ලද ප්‍රකාශ සමඟිනි. ඔවුන් අප සමඟ කීවේ රාත්‍රි කාලයේ සංක්‍රාන්ති ලිංගිකයන් කීපදෙනකුම රැඳී සිටින බවත් තමන් හඳුනාගන්නා තරුණයන් එක් අයකුට පමණක් සීමා කර ගැනීමට ඔවුන් දැඩි උත්සාහයක නිරත වන බවත්ය. ඔවුන් මිතුරන් ලෙස එකට හිටියත් තමන් ඇසුරු කරන තරුණයා අනෙකා සමඟ ඇසුරක් කළහොත් ඉතා ප්‍රසිද්ධියේ ගැටුම් ඇතිකර ගන්නා බවත්, දැඩි ලෙස පරුෂ වචන කියා බැනගන්නා බවත් කියන්නේය. මේ ඝාතනය පසුපසත් එවැනි "පෙම් හුටපටයක්" වෙතැයි ප්‍රදේශවාසීන් කියනු ඇසෙන්නේය.








 

දඹුල්ල - කේ.කේ. ආරියදාස

YOU MAY ALSO LIKE