Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

" නිතර නිතර බලන්න ගියේ නෑ කියලා චන්ද්‍රිකා මා එක්ක තරහින් හිටියේ , මම තව ආත්ම පහක් ඉපිදෙයි , ඊට පස්සේ ඉපදෙන්නේ නෑ" කාලයකට පසු මර්වින් සිල්වාගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

3850Views

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මෙරට දේශපාලනයේ පුවත් මවන චරිතයක් , කලකට පසු මාධ්‍ය ඉදිරියට පැමිණ තිබෙන මර්වින් සිල්වා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අපූරු තොරතුරු රැසක්ම හෙළිකර තිබුනා.
එම සංවාදය පහතින්

ප්‍ර – දේශපාලනයේ හරඹයන් දක්වපු මර්වින් සිල්වාට මොකද වුණේ?
පි – මම දේශපාලනයේ හරඹ කළා. ඒක මේ රටේ ජනතාව දන්නවා. නමුත් රාජපක්ෂ කෙනෙක් මගේ ගමන දිහා බලලා ඒකට ඊර්ෂ්‍යාවෙන් මට නාමයෝජනා ලබාදෙන එකත් වැළැක්කුවා. ඒ නිසා තමයි මට මැතිවරණයට තරග කරන්න බැරි වුණේ.

මම නාම යෝජනා ඉල්ලාගෙන කිසිම කෙනෙක් ළඟට ගියේ නැහැ. මම ගම්පහ එක්ලක්ෂ පනස්තුන්දාහක් මනාප ඡන්ද ගත්ත කෙනෙක්. ඉතින් මම ජනපති මෛත්‍රී ළඟට ගියෙත් නැහැ. බැසිල් ළඟට ගියෙත් නෑ. මහින්ද මහත්තයා ළඟට ගියෙත් නෑ. ඉතින් මර්වින්ට ඒ නිසා මේ විදිහට ඉන්න වුණා.

ප්‍ර – ඔබට නාමයෝජනා දෙන්න එපා කියලා වැඩියන්ම කීවේ කවුද?
පි – චන්ද්‍රිකා මැතිනිය තමයි. ඇය මා එක්ක තරහ වුණා.

ප්‍ර – ඇයි ඇය ඔබ එක්ක තරහ වුණේ?
පි – ඒ නිතර නිතර ඇයව බලන්න ගියේ නෑ කියලා. මම එතුමියගේ ගෙදර දොරේ හරිම ළෙන්ගතුව හිටියේ. මේ මර්වින් සිල්වා රජ මාලිගාවේ හිටියේ. ඒ ජනපති මන්දිරේ මම නැති දවසක් තිබුණේ නෑ.

ප්‍ර – පත් වුණ හැම රාජ්‍ය නායකයකුටම අතිශය හිතවත්ව හිටපු මර්වින්ව ඇයි ඒ අය කපලා දැම්මේ?
පි – ඒක ඉතින් අහන්න ඕන ඒ අයගෙන්. මට නාමයෝජනා නොදෙන්න කිසිම හේතුවක් තිබුණේ නෑ.

ප්‍ර – ඔබ දකුණේ කෙනෙක්. කොහොමද කොළඹට සංක්‍රමණය වුණේ?
පි – මම දකුණටත් එහා රුහුණේ. මගේ රැකියාව මුලින්ම මට දුන්නේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා. ඒ සතොසේ එජාප ආණ්ඩුව ඒ රස්සාව නැති කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනපු ගමන් ඒ නැතිවුණ රස්සාව අරන් දුන්නා. නමුත් මට පත්වීම ලැබුණේ කොළඹ. ඔහොම තමයි මම කොළඹට ආවේ.

ප්‍ර – ඉතින් දේශපාලනයට ආවේ කොහොමද?
පි – ගමේදී මගේ දෙමාපියෝ දේශපාලනය කළේ. මගේ පියා ව්‍යාපාරය කරපු තැන තමයි රාජපක්ෂලාගේ මූලස්ථානය තිබුණේ. ‍පොඩි කා‍ලේ ඇහුණේ රාජපක්ෂලා බණ්ඩාරනායකලා ගැන. ඉතින් එදා ඉඳලම දේශපාලනය කළා.

ප්‍ර – ඔබ එක වෙලාවක ශ්‍රීලනිපය දාලා එජාපයට යනවා?
පි – මාව සහ අනුර බණ්ඩාරනායක මැතිතුමා පක්ෂයෙන් අයින් කළා සිරිමාවෝ මැතිනිය. ඉතින් ඒ වෙලාවේ දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමා මාව ඩී.බි. විජේතුංග මහතාට හඳුන්වලා දීලා යූඇන්පීයට ගත්තා. ඒ වෙලාවේ යූඇන්පීය වැටෙද්දී හම්බන්තොට මන්ත්‍රී විදිහට මම පත් වුණා. පරම්පරා ශ්‍රී ලංකා කාරයෙක් වුණත් ඒ ජනතාව මට තිබුණ ආදරය නිසා ඡන්දය දුන්නා.

ප්‍ර – ඊට පස්සේ කොළඹට ආවා?
පි – ඔව්. මම ගම්පහින් ඡන්දය ඉල්ලලා ඡන්ද එක්ලක්ෂ පනස්තුන්දාහක් ගත්තා. ඒත් මම යූඇන්පී එකෙන් ආපු එක වැරදියි. ඒක අද මට දිට්ඨධම්මවේදනීය කර්මයක් ලෙස පල දුන්නා. වරදක් නැතුවම රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක්ව දාලා චන්ද්‍රිකා මැතිනියගේ ඉච්ඡාබස්වලට මුළා වෙලා ශ්‍රීලනිපයට ආපු එක ගැන මම හුඟක් පසුතැවෙනවා.

ප්‍ර – ඒ ආපු ගමන වැරදුණා කියලද කියන්නේ?
පි – ඇත්තටම වැරදුණා. මම ඒ ගත්ත දේශපාලන තීන්දුව වැරදියි. රනිල් වික්‍රමසිංහ මහතා එක්ක දේශපාලනය කළා. නමුත් චන්ද්‍රිකාගේ ඉල්ලීම අහක දැම්මේ නෑ. ඒත් අන්තිමට එයාම මට කෙළියා.

ප්‍ර – ඇයි එතුමිය එහෙම කළේ?
පි – මේකනේ පිරිමි වගේ නෙවේ ගැහැනු ළඟින්ම ඇසුරු කරලා අමනාප වුණාම හරියට පළිගන්නවා. ඒක තමා වුණේ.

ප්‍ර – මර්වින් සිල්වයි මහින්දයි හිටියෙත් ගහට ‍පොත්ත ‍පොත්තට ගහ වගේ. මොකද වුණේ?
පි – ගමේ ඉන්න කා‍ලේ ඉඳලා අපි එකට හිටියේ. 70 එතුමාගේ වේදිකාවේ මං ඇර වෙන කථිකයෙක් හිටියේ නෑ. තරුණ පිරිස පිරිවරාගෙන මම තමයි සියලු වැඩ කළේ. නමුත් සහෝදරයෝ දෙන්නාගේ කීම උඩ තමයි එතුමාට මා වෙනුවෙන් යමක් කරන්න බැරි වුණේ. ඒ ඇර එතුමා මට වරදක් කරලා නෑ. නමුත් සහෝදරයෝ වැරදි කරද්දී එතුමාට ඒ පිළිබඳව තීන්දු ගන්න බැරි වුණා.

ප්‍ර – අද ඔබට එතුමා කතා කරන්නේ නැද්ද?
පි – ඇයි නැත්තේ එතුමා මට කතා කරනවා.

ප්‍ර – අන්තිමට හම්බ වුණේ කවද්ද?
පි – එතුමාගේ නංගිගේ මළගෙදරදී හමුවුණා. එදා කතා කළේ මම විශේෂයෙන් හම්බ වෙන්න උත්සාහ ගත්තේ නැහැ. මේ වගේ දේශපාලන ගමනට බාධාවක් වෙද්දී අහක බලන් හිටියා නම් ඇයි ඉතින් දැන් විශේෂයෙන් කතා කරන්නේ.

ප්‍ර – චන්ද්‍රිකා මැතිනිය හමුවුණේ කතා කළේ නැද්ද?
පි – මම මන්ත්‍රීකමේ ඉද්දී හමුවුණා. ඊට පසුව ඇය හමුවුණේ නෑ මට.

ප්‍ර – කටින් ගහලා බොහෝ දේවල් දිනන්න දක්ෂ මර්වින්ට කවුරුත් කතා කළේ නැද්ද එන්න එකතු එවලා දේශපාලනය කරමු කියලා?
පි – අනේ නෑ. මට විතරක් නොවේ, මිනිහෙකුට වරදින කොට ඒක හරිගස්සන මිනිස්සු අඩුයි. රනිල් මහත්තයාට අවුරුදු 19ක් දිගට හරහට ගහපු කා‍ලේ රනිල්ව බේරන්න කී දෙනාද හිටියේ. හිටියේ නැති තරම්. නමුත් එයාගේ ඉවසීම උඩ මේ සියලු දේ කර ගත්තා. ඒ ඉවසීම ශ්‍රීලනිප නායකයින්ටත් තිබුණා නම් මේ පක්ෂය බේරගන්න තිබුණා.

ප්‍ර – පක්ෂය විනාශ වෙලාද?
පි – ඔව් අනිවාර්යයෙන්ම.

ප්‍ර – ඔබ හිතන්නේ කවුද වගකිවයුතු?
පි – අනිවාර්යයෙන්ම චන්ද්‍රිකා මැතිනිය වගකිව යුතුමයි. එතුමියට තව ඉදිරියේ දී අවලංගු කාසියක් වෙලා තමයි පක්ෂයෙන් යන්න වෙන්නේ.

ප්‍ර – ඔබේ දේශපාලන ජීවිතයේ හමුවූ හොඳම මිත්‍රයා කවුද?
පි – අනුර බණ්ඩාරනායක මැතිතුමා. එතුමා ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. එතුමා තමයි හොඳම නායකයාත් ඒ වගේම කෙනෙක් මට හමුවෙලා නෑ.

ප්‍ර – බලය තියෙන කාලෙයි අදයි අතර දැනෙන වෙනස කොහොමද?
පි – ඒ ගැන දුකක් කනගාටුවක් ඇත්තෙත් නෑ. නැත්තෙත් නෑ. මම බුදු දහමට අනුවයි කටයුතු කරන්නේ. මිනිස්සුන්ට අහිමි වෙන දේ හුඟයි. හිමි වෙන දේ ටිකයි. අපි සියලු දේම බදාගත යුතු නෑ. නමුත් චූටි දුකක් තියෙනවා තවත් බොහෝ දේ ජනතාව වෙනුවෙන් කරන්න තිබියදී මාව අයින් කරලා දාපු එකට.

ප්‍ර – අපි දැක්කා පසුගිය කා‍ලේ මෝදි විදිහට මොඩ් වෙලා ඉන්නවා?
පි – මම මෝදි විදිහට මොඩ් වුණේ නෑ. ඒ මම රැවුල කොණ්ඩ වැව්වාම ස්වරූපය. අනික මම හැමදාම අලුත් දේවල් කරලා බලනවා. මම පිටරට ඉන්න කා‍ලේ රැවුල කපන්න කම්මැලි හිතුණා. නෝනාත් කීවා එහෙම තියෙන්න අරින්න කියලා. කොණ්ඩෙත් සුදු කර ගත්තා හරියටම. රැවුලත් සුදු කර ගත්තා. ඉතින් වැඩේ හරි ගියා. එච්චරයි.

ප්‍ර – ජීවිතේ වැඩියෙන්ම දුක හිතුණ දවසක් තියෙනවාද?
පි – මගේ සහෝදරයෝ මරා දාපු දවස.

ප්‍ර – වැඩියෙන්ම සන්තෝස වුණේ කවද්ද?
පි – මට නාමයෝජනා නැති වෙලා සත්‍ය තේරුම් අරගෙන මගේ ළඟ හිටපු පරපුට්ටන් ඈත් වෙලා ගියපු දවස තමයි සතුටුම දවස.

ප්‍ර – මේ දේශපාලන ගමන් මගේ ඔබට අමතකම නොවන සිදුවීම මොකක්ද?
පි – එහෙම සිදුවීම් හුඟක් තියෙනවා. එකක් තමයි තිස්සමහාරාමයේදී මට ජේ.වී.පී. එක රැස්වීම් තියන්න තහනම් කළා. මම එදා ඡන්දය ඉල්ලුවා. ඉතින් මට වෙඩි තිබ්බා. මම මැරුණේ නෑ. කකුලට වෙඩි වැදිලා බේරුණා. ඊට පසුව වෙඩි තියලා මගේ නංගිවයි මල්ලිවයි මස්සිනාවයි තුන් දෙනාම මරලා දැම්මා. ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ නිසා. ඒක තමයි අමතක නොවන කතාව. ඒ වගේම පාසල් යන කා‍ලේ අමතක නොවෙන සිද්ධියක් වුණා. පාසලට ආපු ප්‍රධානියෙක්ගේ කාරෙකට තල්ලු කරලා අපි බ්ලොක් කළා. විදුහල්පති අපි කැඳවලා ඇහුවා කවුද කළේ කියලා. කවුරුත් ආවේ නෑ.

මට කතා කළා. මම ගියා. කවුද කළේ ඇහුවා. මම කීවා මම සම්බන්ධයි. ඒත් අනික් අය කියන්න බෑ කියලා. ඊට පස්සේ විදුහල්පති මට ගහලා ගියා. මම පහුවදා විදුහල්පතිගේ මෙසේ ළඟ තිබුණු ජනේ‍ලේ උඩ රතිඤ්ඤාවක් ගෙනැල්ලා සිගරැට් එකක් පත්තු කරලා ඒකට සම්බන්ධ කරලා තිබ්බා. ටිකක් වෙලා යද්දී රතිඤ්ඤා පත්තු වුණා. විදුහල්පති ඇඟ පුරාම තීන්ත හලාගෙන දිව්වා. ඒකත් තවත් මතකයක්.

ප්‍ර – ඔබේ පාසල කොහේද?
පි – මුලින්ම මම ගියේ ගමේ පුංචි ඉස්කෝලෙකට. ඒ වගේ පාසල් කිහිපයකටම පසු කාලෙත් ගියා.

ප්‍ර – ඔබ මුලින්ම මැතිවරණයකට ඉදිරිපත් වෙද්දී ඔබ එක්ක හිටපු ‍පෝස්ටර් ගහපු ගම්වල පයින් ගියපු මිත්‍රයෝ අද හමුවෙන්නෙ නැද්ද?
පි – ගමේ යාළුවෝ තවම ඉන්නවා. මම ඒ අයට කළ හැකි උදව් උපකාරත් කරලා තියෙනවා. නමුත් මේ තනතුරු නැති වුණාම මාව දාලා ගියේ මේ කොළඹ රටේ යාළුවෝ විතරයි. ඒ සේරම නෙවේ කීප දෙනෙක්. ගමේ යාළුවෝ අදටත් ඉන්නවා.

ප්‍ර – ඒ කා‍ලේ හිටපු ඇමැති මිත්‍රයෝ තොරතුරු අහන්නේ නැද්ද?
පි – නෑ, නෑ, අ‍පෝ නෑ. අනික එහෙම දෙයක් අපේ රටේ නෑනේ. මහින්ද මහත්තයාත් කියලා තිබුණේ එතුමාටත් කවුරුත් කතා කරන්නේ නෑ කියලා. ඉතින් ඒක හැමෝටම එකයි.

ප්‍ර – විවේකයට මොකද කරන්නේ?
පි – පත්තර බලනවා. ‍පොත්පත් බලනවා. ඕවා තමයි ඉතින්.

ප්‍ර – දේශපාලන ජීවිතය අල්ලලා ‍පොතක් ලියන්න අදහසක් නැද්ද?
පි – ඇයි නැත්තේ ඉදිරියේදී සියලු තොරතුරු ඇතුළත් ‍පොතක් මර්වින් අතින් ලියැවෙයි. තාම කල් වැඩියි.

ප්‍ර – ඔබ මාධ්‍ය එක්කත් හැප්පුණා?
පි – මේ මර්වින් සිල්වා වැරැද්දේදී මාධ්‍ය එක්ක නොවේ ඕන ජගතෙක් එක්ක හැප්පෙනවා. හරිදේට හරි කියනවා. වැරදි දේට වැරදි කියනවා. මාධ්‍ය කියලා මම කටපියන් ඉන්නේ නෑ. නමුත් මගේ මිත්‍රයෝ හුඟක් ඉන්නවා මාධ්‍ය තුළ එච්චරයි.

ප්‍ර – ඇත්තටම ඇයි අර සමෘද්ධිලාභියෙක් ගස් බැන්දේ?
පි – ඔය ගස් බැඳීමට මට විරුද්ධව කිසිම පැමිණිල්ලක් නෑ. ඩෙංගු රෝගය ඉහවහා යන වෙලාවක මම ඒක නතර කර ගත්තා. එක වැඩකින් අපි කතා කරගෙන ඒක කළේ. නමුත් ප්‍රචාරය වුණා මර්වින් සිල්වා සමෘද්ධි ලාභියෙක් ගස් බඳියි කියලා. ඒක තමයි වුණේ. ඒ ඇර මම නීති විරෝධී දෙයක් කළේ නෑ.

ප්‍ර – ආපහු හැරිලා බලද්දී ආපු ගමන ගැන මොකද හිතන්නෙ?
පි – සතුටුයි. අසන්තෝස තැන් මේ ජීවිතේ කොහේවත් නෑ. කල්ප කාලයක් ජීවත් වෙන්න හිතන් ඉන්නවා නම් අසතුටු වුණාට කමක් නෑ. නමුත් මේ කෙටි කාලය තුළ ඇයි එහෙම? මම කරපු දේවල් ගැන හිතලා හරිම සතුටුයි.

ප්‍ර  කාලයක් කීවා දුටුගැමුණු ඔබේ ඥතියෙක් කියලා?
පි – මම අදත් කියනවා. ඔව්. මම ඒ ශ්‍රේෂ්ඨ නරපතියාට ඥාති සබඳතාවක් තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් ඒ කොහොමද කියලා දැන ගන්න එන්න මම සාධක එක්ක කියන්නම්.

ප්‍ර – ඇයි ඔබේ සොහොන ඔබම හදලා මල් ශාලාවට සල්ලි බැන්දේ?
පි – මගේ අම්මා මට කීවේ තමන්ගේ මරණය නිතර සිහිකරන්න කියලා. කිසි කෙනෙකුට කරදර නෑ. සොහොන් කොත හදලා මල් ශාලාවට සල්ලි දුන්නාම ගෙදර දොරට නෑ කරදර ගෙදර විස්කි බැන්ඩි අරක්කු බොන්න සූදු කෙළින්න කවුරුත් එන්නේ නෑ. නිදි මරන්න ඕනි නෑ. මැරුණට පස්සේ එදාම මිනිය මල් ශාලාවට භාර දීලා ගෙදර අයට ඕනි නම් පින් කරපල්ලා.

ප්‍ර – පින් නැතුව ඇති කියලා බයද?
පි – අ‍පෝ නෑ. මං කරපු පින් හොඳටම ඇති මට දිව්‍ය ලෝකේ යන්න. මම තව ආත්ම පහක් ඉපදෙයි. ඊට පස්සේ මම ඉපදෙන්නේ නෑ.

ප්‍ර – කරපු වැඩවලින් සතුටු වෙන දේවල් මොනවාද?
පි – ඇයි මම හදපු කැලණියේ විෂ්ණු දේවාලය. යුද්දේ ඉවර වුණාම හදනවා කියලා බාර වුණා. මම හැදුවා. ඊට පසුව තමයි මේ කරදර ආවේ. ඒත් ප්‍රශ්නයක් නෑ. මම ලංකාවේ චෛත්‍යය හයක්ම රන් ආ‍ලේප කළා. කැලණිය, මිරිසවැටිය, ථූපාරාමය, ලංකාරාමය, සෝමාවතිය, මහියංගණය මම තිසා වැවෙන් දිනකට වතුර ගැලුම් 1500ක් ශ්‍රී මහා බෝධියට වැටෙන්න හැදුවා. ඒවා දන්නේ නෑ කවුරුවත්. අනුරාධපුර 5000ක් ඉන්න පුළුවන් ලොකු ශාලාව හැදුවේ මේ මර්වින් සිල්වා. මගේ නමවත් නෑ. මට ඕන පින් විතරයි.

 


 

 සංවාදය : සුජිත් කෝනාර , රිවිර

YOU MAY ALSO LIKE