Tuesday, October 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘හැංගිලා හිටිය කොටි කණ්ඩායමක් අපිට පහර දුන්නා‘‘ වසර 20 ක් හදවතේ මූනිස්සමක් තබාගෙන සිටි අභීත රණවිරුවා සියළු අත්දැකීම් හෙලි කරයි.

2566Views

තිස් වසරක කුරිරු යුධ සමයේදී රට ජාතිය වෙනුවෙන් සටන් වැදී අභීත මෙහෙවරක් ඉටු කල රණවිරුවන් පිළිබඳව අපි කතා කරන්නේ ඉතාමත් ගෞරවයෙන්. යුධ සමය තුලදී ජීවිත පරිත්‍යාග‍යෙන් මෙන්ම තම ඇස් හිස් මස් ලේ දන් දුන් රණවිරුන් ගැන ඕනෑ තරම් කතා අපි අසා තිබෙනවා.

ඒ අතර පසුගිය යුද සමයේදී සිදු වුන බිහුසුනු සිදුවීක් නිසා වසර 20 ක කාළයක් පුරාවට හදවතේ මූනිස්සමක් තබාගෙන සිටි රණවිරුවෙකු පසුගියදා මුහුණ දුන් අත්දැකීම සති අන්ත පුවත්පතකට මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

විජේසුන්දර බණ්ඩාර දැන් සිටින්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයකිනි. ඊට ඔහුගේ මානසික සුවය බෙහෙවින් බලපා ඇති බව පෙනේ.
දැන් මොකද හිතෙන්නේ....? මම සිනාමුසු මුහුණින් සිටිනා ඔහුගෙන් ප්‍රශ්න කළෙමි.

"හිතාගන්න බැහැ.... පුදුමයි...! අවුරුදු 20ක් හදවතේ මූනිස්සමක් තිබුණා කියලා ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ..."
"එහෙම තියාගෙන මම පසුගිය කාලේ මහන්සි වෙන වැඩ ගොඩක් කළා. විශේෂයෙන්ම කුඹුරු කෙටුවා. ගෙදර ‍දොරේ වැඩ කළා. වෙහෙස මහන්සිය නොබලා සැතපුම් ගණන් පයින් ඇවිද්දා...."

විජේසුන්දර බණ්ඩාර යළිත් සිනාසුණේය.


මා ඉදිරිපිට සිටින්නේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ කාර්ය බළකායේ සේවය කළ දක්ෂ යුද සෙබළෙකි. ඒ මීට වසර අටකට පෙරය.
දැන් ඔහු විශ්‍රාමිකය. රට වෙනුවෙන් තම කාර්යභාරය අකුරට ඉටු කළ විජේසුන්දර බණ්ඩාර 2009 වසරේදී විශ්‍රාම ලැබුවේය.
"කොහොමද මේ මූනිස්සම ඇඟ ඇතුළට ගියේ... හෘද වස්තුව ඇතුළේ ඒක තිබෙන බව නොදැන සිටි බව ඔබ කිව්වා...."

"ඔව්... මම ඇඟ ඇතුළේ මූනිස්සමක් තිබෙන බව දැන සිටියා... ඒත් හෘදය වස්තුව ඇතුළේ ඒක තියෙනවා කියල නම් දැනගෙන හිටියෙ නැහැ. ඒක දැනගත්තේ මේ මෑතකදී."


විජේසුන්දර බණ්ඩාර ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායට අයත් දක්ෂ විරු සෙබළකු බව මම ඔබට මුලින් මතක් කළෙමි. ඒ කතාව තවදුරටත් දිග හැරෙන්නේ මෙහෙමය.
1987 යුද හමුදාවට බැඳෙන විජේසුන්දර බණ්ඩාරගේ ප්‍රථම රාජකාරි ප්‍රදේශය වන්නේ උතුරය. උතුරේ එල්.ටී.ටී.ඊ. බල ප්‍රදේශවලට අයත් මහ කැලෑවලය. මේ ආකාරයට රාජකාරි කරන ඔහු 1997 වසරේදී සේවය සඳහා පැමිණෙන්නේ මාන්කුලම්වලටය.

"එදා අපි මාන්කුලම් කඳවුරට ආසන්නයේ කැලෑවකට ඇතුළු වුණේ ටෙරාලට ගහන්න. ඇත්තටම අපි ඒ ක්‍රියාන්විතය සාර්ථක කර ගත්තා. කොටි සතුව තිබුණු ආයුධ එහෙමත් අරගෙන අපි නැවත ආවේ. ඒ එද්දි හැංගිලා හිටපු කොටි කණ්ඩායමක් අපිට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. මට වෙඩි වැදුණේ එතැනදි."
විජේසුන්දර බණ්ඩාරට වැදුණු වෙඩි පහර ඇඟට ඇතුළු වුණේ දකුණු උරහිසිනි. ඔහු ඒ වෙඩි පහරින් ඇද වැටුණත් අඩපණ වූයේ නැත.

"ඊට පස්සේ අපේ සගයෝ මාව වවුනියාව රෝහලට අරන් ගියා. එතැනින් අනුරාධපුරයට ගෙනාවා."

රෝහලේදී විජේසුන්දර බණ්ඩාරට සුදුසු ප්‍රතිකාර ලැබිණි. ඒ නිසාම දින කීපයකින් ඔහු යළිත් යුද පිටියට ගියේය.
"‍දොස්තර මහත්තුරු කිව්වේ ශරීරයට ඇතුළු වෙලා තිබෙන මූනිස්සම ඉවත් කරන්න අවශ්‍ය නැහැ. ඒකෙන් ජීවිතයට ලොකු බලපෑමක් නැහැ කියලයි. ඒ නිසාම මම ඒක ගැන හොයන්න ගියේ නැහැ. මොකද මූනිස්සම් කෑලි, බෝම්බ කෑලි ඇඟ ඇතුළේ තියාගෙන ඉන්න කොල්ලෝ ඕනෑ තරම් අපි අතර ඉන්න නිසා."
යුද හමුදා සේවයේ නිරතව සිටින රණවිරුවන් සිතන්නේ එහෙමය. ඔවුන්ට ඒවා ගැන වගක් නැත. බියක් නැත.

"ඊට පස්සේ මම නැවත වතාවක් කොටින්ගේ මෝටර් ප්‍රහාරයකට ගොදුරු වුණා. එතැනදිත් තුවාල වුණා. ඒත් ඒ තුවාල සනීප කරගෙන ආපසු යුද පිටියට ගියා."
කාලය මෙසේ ගෙවී ගියේය. රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකළ මේ රණවිරුවා 2009 වසරේදී සේවයෙන් විශ්‍රාම ගන්නේ තම දරු පවුල වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා කිරීමේ අභිලාෂයෙනි.

"මම විශ්‍රාම ගැනීමෙන් පසුව ලැබුණු මුදල්වලින් කුඹුරු කෑල්ලක් ගත්තා. ඒක තමයි මගේ ඊළඟ ආදායම් මාර්ගය වුණේ."
තුවක්කුවට, බෝම්බයට හුරුවී සිටි සුරතට සමුදුන් විජේසුන්දර බණ්ඩාර කැත්ත, උදැල්ල අතට ගත්තේ යහපත් මිනිසකු ලෙස ජීවත්වීමේ අරමුණු පෙර දැරිවය. ඔහු එසේ තවත් වසර කීපයක් නිරෝගීව හුන්නේය.

"මෑතකදී එක පාරටම මගේ පපුව රිදෙන්න ගත්තා. පොල් ගසක මුලක් ඉවත් කරමින් ඉන්නකොට තමයි මේ අමාරුව මට ආවේ."
විජේසුන්දර බණ්ඩාරගේ බිරිය චන්ද්‍රලතාය. ගුරුවරියකි. ඇය තම ස්වාමියාට හිටි හැටියේ ආ පපුවේ අමාරුව පිළිබඳ සුළුවෙන් කල්පනා කළේ නැත. වහා ප්‍රදේශයේ රෝහල කරාගෙන ගිය ඇය වෛද්‍ය උපදෙස් පැතුවේ කළ යුතු ප්‍රතිකාරය ඉක්මනින්ම කළ යුතු නිසාය.
"අපි ජීවත් වෙන්නේ බිබිලේ. ඉතිං මම මොනරාගල රෝහලට මහත්තයව එක්කරගෙන ඇවිත් වෛද්‍ය තිසර සමරවික්‍රම මහත්තයාගෙන් උපදෙස් ලබා ගත්තා. එතුමා මේ වෙනුවෙන් කළ යුතු පරීක්ෂණ කීපයකට අපිව යොමු කළා. මේ පරීක්ෂණවල අවසානයේදී තමයි හෘදය වස්තුවේ මූනිස්සමක් තියෙනවා වගේම නහරවල අවහිරතාවක් තිබෙනවා කියලා අපි දැන ගත්තේ." මෙසේ කීවේ චන්ද්‍රලතා ගුරුතුමියය.

තම ස්වාමිපුරුෂයාගේ රෝගී තත්ත්වය වෙනුවෙන් වහා හදවත් ශල්‍යකර්මයක් කළ යුතු බව දැන ගත් චන්ද්‍රලතා ගුරුතුමිය ඊළඟට සොයා බැලුවේ ඒ වෙනුවෙන් සිටින සුදුසුම වෛද්‍යවරයා කවුදැයි යන්න ගැනය.

"මේ වෙලාවේ හැමෝම කිව්වේ කරාපිටියේ ඉන්න නාමල් සර් තමයි හොඳම වෛද්‍යවරයා කියලා. ඉතින් ඒ අනුව පවුලේ අයගෙන් වගේම මගේ ඉස්කෝලේ විදුහල්පතිතුමා ඇතුළු හිතවත් හැමෝගෙන්ම ලැබුණු මුදල් ආධාර ලබාගෙන මම මගේ මහත්තයා එක්ක කරාපිටියට ආවා.
ලංකාවේ මේ වනවිට බොහෝ රජයේ රෝහල්වල තිබෙන්නේ කාර්යබහුල වාතාවරණයක්. විශේෂයෙන්ම හෘද සැත්කම් කිරීමට මාස කීපයක් බලාසිටීමට සිදුවන බව ඇත්තකි. කොළඹ මහ රෝහලේ පවා මේ වනවිට හදවත් සැත්කම් කිරීම නවතා දමා ඇත. ඒ නිසාම රජයේ වියදමින් පෞද්ගලික රෝහල්වලට මේ රෝගීන්ගේ සැත්කම් කිරීමේ වැඩපිළිවෙළක්ද අරඹා ඇත.

"මගේ මහත්තයාගේ තත්ත්වය අනුව අපිට රජයේ උදව්වෙන් මේ ශල්‍යකර්මය කරගන්න තුරු බලා සිටින්න බැරි වුණා. ඒ නිසාම මම නාමල් සර් ප්‍රතිකාර කරන ගාල්ල කෝපරේටිව් හෘද රෝහල වෙත ආවා. සර්ව අපට මුණගැසුණේ එතැනදී."
විජේසුන්දර බණ්ඩාරගේ රෝගී තත්ත්වය තේරුම් ගත් හෘද රෝග විශේෂ වෛද්‍ය නාමල් ගමගේ මහතා වහාම ඔහුගේ ශල්‍යකර්මය කිරීමට වගබලා ගත්තේය.
"ඒ අනුව අපි ගාල්ල කෝපරේටිව් හෘද රෝහලට ඇතුළු වුණා. සර් මගේ මහත්තයගේ ඔපරේෂන් එක සාර්ථකව සිදුකළා. හදවතේ තිබුණු මූනිස්සම ඉවතට ගත්තා. අවහිර වී තිබුණු නහර යම් තත්ත්වයකට පත්කර අපේ හිත්වල තිබුණු බිය දුරු කළා. ඇත්තටම බොහෝ දෙනා අපිට කිව්වේ සර්ගේ අත්දෙක හො¼දයි කියලා. ඒක ඇත්ත. සර්ගේ අත්දෙක විතරක් නෙවෙයි හිතත් හොඳයි." චන්ද්‍රලතා සතුටින් යුතුව කීවේ තම ආදරණීය ස්වාමි
පුරුෂයා දෙස බලමිනි.

විජේසුන්දර මූනිස්සම දැක්කද? මම ඔහු දෙස බලා ඇසුවෙමි.
"ඔව්... හරි පුදුමයි.. මේ මූනිස්සම මගේ හදවත ඇතුළේ තියාගෙන විසි අවුරුද්දක් විතර හිටියා කිව්වහම ඇත්තටම පුදුමයි."
විජේසුන්දරට හා චන්ද්‍රලතාට පමණක් නොව මේ මූනිස්සම ගැන පුදුම වන තවත් කීප පොළක් සිටිති. ඒ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා ඇතුළු මේ ශල්‍යකර්මයට සම්බන්ධ කෝප් රෝහලේ කාර්ය මණ්ඩලය. ඉඳින් අප ඒ පිළිබඳ විශේෂ වෛද්‍ය නාමල් ගමගේ මහතාගෙන් මුලින්ම විමසා සිටින්නට කල්පනා කළේ ඔබ හැම දෙනාගේම දැන ගැනීම පිණිසය. "මේ වෙඩි උණ්ඩය වැදිලා තියෙන්නේ වම් අතේ ඉඳලා හෘද වස්තුව හා සම්බන්ධ ලොකු ශිරාවකටයි. මේ ශිරාව ලොකු එකක්."


"මූනිස්සම ශිරාවේ එක් බිත්තියක් කඩාගෙන ඇතුළු වුණාට අනෙක් බිත්තිය කඩාගෙන ගිහින් නැහැ. මොකක්දෝ වාසනාවකට එහෙම වෙලා නැතිව උණ්ඩය රුධිරයත් එක්ක ශිරාව දිගේ පහළට ඇවිත්.

විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා සඳහන් කරන ආකාරයට මේ උණ්ඩයේ ඊළඟ ගමන් මඟ වී තිබෙන්නේ වම් සහ දකුණු ශිරා මෙන්ම බෙල්ලේ සිට එන ශිරාව එකතුවී සෑදෙන පූර්ව මහා ශිරාවය.ඒ හරහා ගලා එන උණ්ඩය අනතුරුව එන්නේ දකුණු කර්ණිකාවටය.
"දකුණු කර්ණිකාවට ආපු මේ මූනිස්සම ත්‍රිතුණ්ඩ කපාටය හරහා දකුණු කෝෂිකාවට ඇවිත් එහි ඇති තන්තු මත රැඳිලා තිබෙන ආකාරය තමයි අපිට නිරීක්‍ෂණය වුණේ."
"ඉතිං අපි විනාඩි 45ක විතර පරිශ්‍රමයක් දරලා මේ උණ්ඩය එළියට ගත්තා."

"නමුත් මෙහිදී මම එක් දෙයක් සඳහන් කළ යුතුයි. මේ උණ්ඩය ඔහුගේ හදවත් රෝගයට හේතුවී තිබුණේ නැහැ. ඊට හේතුවී තිබුණේ ප්‍රධාන ලේ නහරයක අවහිරතාවක්."
කෙසේ හෝ මේ ශල්‍යකර්මය අවසානයේදී විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පවා විස්මයට පත්වූ දෙයක් තිබිණි. ඒ මේ උණ්ඩය රුධිරය සමඟ ගමන් කළ ස්වභාවය හා එය තැන්පත් වී තිබුණු ආකාරය පිළිබඳවය. ඔහු පවසන්නේ තමන් මෙතෙක් 18,000කට නො අඩු හදවත් සැත්කම් ප්‍රමාණක් සිදුකර ඇතත් මේ ආකාරයේ අත්දැකීමක් ලැබූ පළමු අවස්ථාව මෙය බවය. එමෙන්ම ලෝකයේ මීට පෙර මෙවන් රෝගියකු හමුවී ඇත්දැයි යන්න ගැන පවා තමන් නොදන්නා බවය.

විජේසුන්දර බණ්ඩාරගේ මූනිස්සම දැන් ගාල්ල කෝපරේටිව් රෝහලේ සුරක්‍ෂිතව තැන්පත් කර ඇත. ඒ එය ඔවුන්ටත් පුදුමාකාර විදියේ අත්දැකීමක් බවට පත්වී තිබෙන නිසාය.
"මේ රෝහලේදී විතරක් නොවෙයි ලංකාවේ කොහේවත් මේ වගේ ශල්‍යකර්මයකින් හදවතේ තිබුණු මූනිස්සමක් එළියට අරගෙන නැති බව අපට හොඳටම විශ්වාසයි. ඒ සාර්ථක සැත්කම කළේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ සර්ගේ මූලිකත්වයෙන්... ඒ ගෞරවය අපි එතුමාට දිය යුතුයි."
මෙසේ පවසන්නේ එම රෝහලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වෛද්‍ය අහමද් රිෆ්කාන්ය. මේ ශල්‍යකර්මයට ඔහු මෙන්ම නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගත් ඇලෙක්සැන්ඩර් මහතාද සහභාගි විය.

"ඇත්තටම මටත් මේක විශාල අත්දැකීමක්.. මම වෛද්‍ය නාමල් ගමගේ මහතා එක්ක අවුරුදු 17ක් විතර වැඩ කරනවා. මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්න පළමු
අවස්ථාව මෙයයි. මේ වෙඩි උණ්ඩය හෘද වස්තුවට ගමන් කර තිබු ආකාරය ගැන අපට පුදුමයි. මේක බොහෝම දුර්ලභ සිදුවීමක්. දැන් අපි හොයනවා ලෝකේ කොහේ හරි තැනක මෙහෙම සිදුවීමක් වෙලා තියෙනවද කියලා."
විශේෂඥ වෛද්‍ය ජගත් ඇලෙක්සැන්ඩර් මහතා කීවේය.

මේ සටහන ලියන මොහොත වන විට විජේසුන්දර බණ්ඩාර ගාල්ල කෝපරේටිව් හදවත් රෝහලින් නික්මී නිවෙස බලාගොස් හමාරය.
"මම මහ පුදුමාකාර අත්දැකීමක් ලැබුවා. මගේ හදවත් රෝගයට මුල්වී තිබුණේ හදවතේ ප්‍රධාන ලේ නහරයක අක්‍රියතාවක්. කිරීටක ධමනියක අවහිරතාවක්. ඒක නිසා මම ඉක්මනින් මියැදෙන්න ඉඩ තිබුණු බව දැනගත්තා. නමුත් වසර 20ක් විතර හදවතේ තිබුණු වෙඩි උණ්ඩය ඒකට බලපා තිබුණේ නැහැ. පුදුමය ඒකයි.
පසුගිය කාලේ විශේෂයෙන්ම මම හමුදාවේ ඉන්න දවස්වල කෙටි පුහුණුවකට ඉන්දියාවට පවා ගියා. ඒ වගේ තැන්වලදී කැමරාවලට මගේ මේ උණ්ඩය ගැන සඳහන් වුණා. ඒත් ඒක හදවතේ තිබෙන බව නම් මා දැනගෙන සිටියේ නැහැ."

ජීවිතය මහ පුදුමාකාරය. මරණය අපි කරා එනතෙක් කිසිවකුට අපේ ජීවිත උදුරා ගත නොහැකියි. අප රැගෙන ආ ආයුෂ අහවර වන දින ඉදිකටු තුඩක සීරිමක් පවා මරණයට හේතුවනු ඇත. එතෙක් අප මේ තාවකාලික නවාතැන තුළ නැවතී සිටිය යුතුය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

YOU MAY ALSO LIKE