Wednesday, November 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘පොඩි කෙල්ලෙක්ට ලියුමක් දීලා බයේ ගැහි ගැහී හිටියා, සරෝජා හැදුවෙ ඉඩකඩම් පවා විකුණලා‘‘ සෝමරත්න දිසානායකගෙන් අපූරු කතාවක්..!

3163Views

සෝමරත්න දිසානායක කියන්නේ ලොකු කුඩා ප්‍රේක්ෂකයින් හැමදෙනාගෙම ආදරය දිනාගනිපු ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. දරුවන් වෙනුවෙන්ම සැකසූ උසස් ගණයේ සිනමා නිර්මාණ රටට ලෝකයට දායාද කල සෝමරත්න දිසානායක පහුගිය දවස්වල බොහෝ දෙනාගේ කතාබහටත් ලක්වුණා. ඒ ඔහු අධ්‍යක්ෂණය කල නවතම චිත්‍රපටය නිසා. කතා බහට ලක්වුණු ඒ විත්‍රපටය වගේම බොහෝ දෙනා දැනගන්න ආසාවෙන් ඉන්න ගොඩක් දේවල් සෝමරත්න දිසානායක පසුගියදා පුවත් පතකට කියලා තිබුණා.

ඔබගේ අලුත් නිර්මාණය ළඟදීම ප්‍රේක්ෂකයන්ට බලන්න ලැබෙනවා නේද...? අනිත් නිර්මාණ එක්ක බලද්දී මේ චිත්‍රපටය බොහෝ වෙනස් නිර්මාණයක් නේද?
අලුත් චිත්‍රපටය මම මෙතෙක් කරපු නිර්මාණවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මම මෙතෙක් චිත්‍රපට බොහොමයක් කුඩා දරුවන්ට තමයි කළේ. නමුත් ඒ පොඩි දරුවන්ගෙන් මිදිලා වෙනත් නිර්මාණයක් තමයි කළේ. මෙතෙක් කරපු නිර්මාණ කුඩා දරුවන් උදෙසා නිර්මාණය කළාට ඒවා ළමා චිත්‍රපටම නෙමේ. ඒවා දරුවන්ට බලන්න පුළුවන් පවුලේ චිත්‍රපට. හැබැයි ඒ හැම නිර්මාණයකම දරුවන් පාදක කරගෙන නිර්මාණය වුණා. දරුවන් තමයි ප්‍රධාන භූමිකාව නිරූපණය කළේ. මගේ අලුත් නිර්මාණය වැඩිහිටියන්ට පමණක් තේමා වුණු නිර්මාණයක්. මේ නිර්මාණයෙන් මානසික ආබාධයක් තියෙන මනුස්සයෙක් දිහා දයාවෙන් සානුකම්පිතව බැලීමක් පිළිබඳව කියවෙනවා. මේක වැඩිහිටියන්ට පමණයි වුණාට අසභ්‍ය දර්ශන, කුණුහරැප කියවෙන්නේ නෑ. නමුත් මේ තේමාව දරුවන්ට ගැලපෙන්නේ නෑ.

නිර්මාණය වෙනස් වගේම චිත්‍රපටයේ නමුත් ටිකක් වෙනස් නේද?
මේක මම නම් කළේ අන්ඩර් පෑන්ට් ඔෆ් තීෆ් කියලයි. මම මේකට ජංගි හොරා කියලා නම් කළේ නෑ. හැබැයි දැනටමත් මගේ චිත්‍රපටයට මාධ්‍යයෙන් කියන්නේ ජංගි හොරා කියලයි. මේක මගේ නමක් නෙමේ. හැබැයි ඉතින් කැමති කෙනෙක් ඒ නම කියාගන්න. මේ චිත්‍රපටය මේ අවුරුද්දේ අග දැකබලා ගන්නට පුළුවන් වේවි.

හිතුණාද දැන් දරුවන් වෙනුවෙන් නිර්මාණ කළා ඇති කියලා...?
මම හිතන දෙයක් තමයි නිර්මාණවේදියෙක්  කවදාවත් කොටු විය යුතු නැහැ කියලා. හැබැයි හැමෝම මාව කොටුකරලා තිබුණා. මාව සමාජය ළමා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා කියලා හඳුන්වන්න පටන් ගත්තා. හැබැයි මම දන්නවා මම ළමා චිත්‍රපට විතරක් හදන මිනිහෙක් නෙමෙයි කියලා. ඉතින් මම හිතන දෙයක් තමයි කිසිම කලාකරුවෙක් එක රටාවකට කොටුවෙන්න හොඳ නෑ. ඉතින් මට ඕනවුණා මේ කොටුවෙන් කඩාගෙන එළියට එන්න. ඒක තමයි මේ නිර්මාණය කළේ. මම මේ චිත්‍රපට පිටපත ලියලා ටිකක් කල් වෙනවා. මේ පිටපතටත් පස්සේ ලියවුණු තවත් ළමා චිත්‍රපට කිහිපයකුත් මගේ අතින් නිර්මාණයක් බවට පත්වුණා. ඉතින්.... මට හිතුණා දැන් වෙනස් වෙන්න මේ හොඳම කාලයයි කියලා.
ආචාර්ය සෝමරත්න දිසානායක කියන චරිතය බිහිවුණේ කොළොම්පුරයෙන් නෙමේ....

මම ඉපදුනේ දඹදෙණිය කියන පිටිසර ගම්මානයකයි. අතීතයේදී ඒක ලංකාවේ අගනුවරයි. දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ රජකරපු රාජධානියයි. නමුත් ඒක දැන් කවුරුත් හඳුනන්නේ නැති නිකම් වල් බිහිවෙච්චි පුංචි නගරයක් බවට පත්වෙලා තියෙනවා. පුරාණ නටබුන් තියෙන ඒ ගමේ තමයි මම ඉපදුණේ. මම මුලින්ම ගියේ ගමේ තිබුණ මුතුගල ප්‍රාථමික විදුහලට. ඊට පස්සේ පහවසර ශිෂ්‍යත්වය සමත්වෙලා නාරම්මල මයුරපාද ජාතික පාසැලට ඇතුළත් වුණා. නාරම්මල මයුරපාදයෙන් උසස් පෙළ දක්වා ඉගෙනගෙන මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

ඔබේ මව්පියන් කලාවට ආදරය කරපු අයද?
ඔව්... මගේ අම්මයි තාත්තගෙයි කලාකාමී ගති තිබුණා. මගේ අම්මට හොඳට කවි කියන්න පුළුවන්. ගමේ ගොයම් කවි, නෙළුම් කවි අම්මා කිව්වා. මගේ තාත්තාට හොඳට කතන්දර කීමේ හැකියාව තිබුණා. නමුත් ඔවුන් වෘත්තියෙන් ගොවියෝ. මගේ අම්මා තාත්තා එහෙම ඉහළට ඉගෙන ගත්තු දෙන්නෙක් නෙමේ. හැබැයි පොත්පත් කියවන්න හරි කැමතියි. සමාජ දැනුම පොතපත, සාහිත්‍ය දැනුම ඒ දෙන්නාගේ හදවතේ උපරිමයෙන් තිබුණා. ඔවුන්ගෙන් තමයි මගේ හිතටත් කලාකාමී අදහස් ඇතිවුණේ. මගේ අම්මා තමයි අපිට කවි පුරුදු කළේ. මගේ තාත්තා තමයි අපිට කතන්දර කියල දුන්නේ. රජකතා, උපමා කතා, සුරංගනා කතා හරි අපූරුවට අපේ හිත්වල මවන්න තාත්තා හරි දක්ෂයි. මම හිතන්නේ සෝමරත්න දිසානායක කියන කලාකරුවා බිහිවුණේ මගේ පුංචි ගේ ඇතුළෙදියි. 

පාසැලේදී ඔබ විෂයයක් විදිහට කලාව තෝරාගත්තද?
නෑ... මම උසස් පෙළට කළේ විද්‍යා අංශයයි. මම පාසැලේදී සාමාන්‍ය පෙළ කරන්න තෝරා ගනිද්දි කලා විෂය එතන තිබුණේ නෑ. ඒ වෙනකොට පාසැලේ අධ්‍යාපන කටයුතුවලදී මම මුල්තැන අරගෙන තිබුණා. හොඳ ලකුණු මට්ටමක් තිබුණා... ඒ නිසා ගුරුවරුන්ගෙන් මට හොඳ ඇගයීමක් තිබුණා. ඉතින් මම නිරායාසයෙන්ම විද්‍යා ශිෂ්‍යයෙක් වුණා. හැබැයි මගේ හිත තිබුණේ කලාවෙයි. මම කවි ලියන්න, කවි පාඩම් කරන්න, කවි කියන්න මට හොඳට පුළුවන්. පාසල් විවාද කණ්ඩායමේ මම හිටියා. හැබැයි ඒවා විෂයන්ට අයිති ඒවා නම් නෙමේ. වේදිකාවේ පාසැල් නාට්‍යයකදී මම අනිවාර්ය චරිතයක් වුණා. විද්‍යා ශිෂ්‍යයා හැමවෙලේම හිටියේ කලා වැඩකටයුතුවලයි. කලා හැදියාව මගේ ඒ කාලේ ඉඳන්ම තිබුණා. මම උසස් පෙළ සමත්වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මගේ පළමු උපාධිය වෛද්‍ය විකිරණ විද්‍යාවයි. හැබැයි මම පුවත්පත්වලට කවි ලිව්වා. කෙටිකතා ලිව්වා. ඒවා පළවුණාම මට මා ගැනම විශ්වාසයක් තවත් ඇතිවුණා.

ඔය කාලේදී නළුවෙක් වෙන්නත් හැකිවුණා නේද?
ඔව්... මට පාසැල් නාට්‍යවල රඟපාලා රඟපෑමේ උණ හැදිලයි තිබුණේ. ඒ නිසා විශ්වවිද්‍යාලයට ආවට පස්සේ රංගනය පිළිබඳව හදාරන්න මට ඕන වුණා. ඒ වෙද්දි කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ ධම්ම ජාගොඩගේ නාට්‍යය පාඨමාලාවක් තිබුණා... මම ඒකට බැඳිලා නාට්‍යකරණය හැදෑරුවා. ඒ වෙද්දි තමයි ඒකේ අපූර්වත්වය මම අත්වින්ඳේ. එතනදි මට රවීන්ද්‍ර රන්දෙණිය, එච්.ඒ. පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, සුමින්ද සිරිසේන, දීපානි සිල්වා, වගේ ප්‍රවීණයන් මුණගැහුණා. ඒ පාඨමාලාවෙන් ඉගෙන ගෙන මම වෙඩික්කාරයෝ කියන වේදිකා නාට්‍යය නිර්මාණය කරනවා.

ඒ වුණාට වෙඩික්කාරයෝ නිර්මාණය තහනමට ලක්වෙනවා නේද?
ඔව්... වෙඩික්කාරයෝ වේදිකා නාට්‍ය මුලින්ම තහනම් වෙනවා. ඒ කාලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නිසා පෙරළිකාර අදහස් මගේ හිතේ තිබුණා. ඉතින් ඒ කාලේ තිබුණ රාජ්‍ය තන්ත්‍රයට එරෙහි තරුණ කැරලිකරුවෙක්ගේ පැත්ත අරගෙන තමයි ඒ නාට්‍ය හැදුවේ. ඊට පස්සේ වේදිකා නාට්‍යය කරලා අතේ තිබුණු සල්ලියි, තාත්තාගෙන් ඉල්ලගත්තු සල්ලියි ඉවරවුණාට පස්සේ මට මේ වේදිකා නාට්‍යය කරන එක එපා වුණා. ඊටපස්සේ මම ඕස්ට්‍රේලියාවට ගියා.

ඔබ ඕස්ට්‍රේලියාවට ගියේ හොඳ වැටුපක් සහිත හොඳ රස්සාවක් නේද?
ඔව්... මම විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත්තට පස්සේ වෛද්‍ය විකිරණ විද්‍යා විශේෂඥයෙක් විදිහට මට ලෝකේ ඕනෑම රටක රැකියාව කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් හොඳ ඉල්ලුමක් තියෙනවා. කාලයක් මම කොළඹ මහ රෝහලේ වැඩකළා. පසුව ඕස්ට්‍රේලියාවට ගියා. ඕස්ට්‍රේලියාවේ රෝහලේ වැඩකරන ගමන් මට මගේ කලා හැකියාවන් වැඩිකරගන්න ඕන වුණා. ඒ නිසා මම සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලාව ඉගෙන ගත්තා. ඒ ඉගෙනුමත් මම හොඳටම කළා. අධ්‍යක්ෂණය පිළිබඳව මම බොහෝ දේවල් සිඩ්නි විශ්වවිද්‍යාලයේදී ඉගෙන ගත්තා. ලෝකේ තියෙන බොහෝ සම්භාව්‍ය චිත්‍රපට නැරඹීමට මට අවස්ථාව මේ හරහා ලැබුණා. ඊට පස්සේ මට චිත්‍රපටයක් කරන්න ආසා හිතුණා. ඒ වෙද්දි ලංකාවේ යුද්ධය පවතින කාලයයි. මේ නිසාම මගේ නිර්මාණය ඔස්සේ මේ කුරිරු යුද්ධය ගැන කතා කරන්න ඕනේ කියලා මම චිත්‍රපටයක් නිර්මාණය කළා.

ඒ තමයි සරෝජා...? එහෙම නේද?
ඔව්... ඒකේදී මම තෝරාගත්තේ පුංචි දරුවන් දෙන්නෙක්. ඒ කතාව මම ලිව්වේ ඕස්ට්‍රේලියාවේදී. මම ඕස්ට්‍රේලියාවේ හිටියට ලංකාව සමඟ නිරන්තරයෙන් සම්බන්ධයි. එවකට ඕස්ට්‍රේලියාවේ සිංහල ගුවන් විදුලිය කළේ මම. ඒ නිසා කාලීන සිදුවීම්, ප්‍රවෘත්ති හැම දෙයක් පිළිබඳව මට දැනුමක් තිබුණා. ඒ නිසා කාලකන්නි යුද්ධය ගැන සරෝජා චිත්‍රපටය හදන්න මම ලංකාවට ආවා.

සරෝජා හදන්න කලින් ඔබ ටෙලිනාට්‍ය කීපයක්ම නිර්මාණය කළා නේද..?
ඔව්... ඊට කලින් මම වෙඩික්කාරයෝ, මීපුර වැසියෝ කියන වේදිකා නාට්‍ය දෙකත් පුංචි පැටව්, සුවඳ කැකුළු, අවසඳ, ඉටිපහන් කියන ටෙලිනාට්‍ය කීපයක් වරින්වර ලංකාවට ආපු කාලවල්වලදී කළා. ඕස්ට්‍රේලියාවේ රැකියාව කළාට මගේ හිත තියෙන්නේම ලංකාවේ කලාව ළඟයි. ඒ නිසා සල්ලි ටිකක් එකතු කරගෙන, රස්සාවෙන් නිවාඩු දාගෙන මම ලංකාවට ඇවිත් නිර්මාණයක් කරගෙන ආයේ ඕස්ට්‍රේලියාවට ගියා. සමහර නිර්මාණ කරන්න මම ලංකාවට ආවේ ඒ ආයතනවලට මගේ අස්වීමේ ලියුම බාරදීලයි. ඉතින් සරෝජා පිටපත අරගෙන ලංකාවට ආපු මම සරෝජා කළාට පස්සේ බලාපොරොත්තු වුණාට වඩා ජනප්‍රිය වුණා. මගේ තිබුණ ඉඩකඩම් පවා විකුණලා තමයි මම සරෝජා චිත්‍රපටය හැදුවේ. දින එකසිය තිහක් සරෝජා අඛණ්ඩව ප්‍රදර්ශනය කළා. ඒ නිසා සරෝජා චිත්‍රපටය නිසාම මම ඕස්ට්‍රේලියාවේ හැමදෙයක්ම අතහැරලා ලංකාවේ නතර වුණා. සරෝජා චිත්‍රපටයෙන් පස්සේ පුංචි සුරංගනාවී, සූරිය අරණ, සමනළ තටු, සිරි රජ සිරි, බිංදු, සිරි පැරකුම්, සරිගම වැනි චිත්‍රපට මගේ අතින් නිර්මාණය වුණා.

 

ඔබ අලුත් පුංචි මුහුණු කිහිපයක්ම සිනමාවට හඳුන්වලා දුන්නනේ. එයින් බොහෝ චරිත අද වෙද්දි ඉතා ජනප්‍රිය චරිත වෙලා....
ඇත්තටම ඒ ගැන මට ලොකු සතුටක් තියෙන්නේ. මම දරුවන් මගේ චිත්‍රපටවලට තෝරාගන්නේ විශාල ක්‍රමවේදයක් ඇතුවයි. කලින් දැන හඳුනාගත්තට, නෑදෑයන් වුණාට, දරුවන්ව මගේ නිර්මාණවලට තෝරාගත්තේ නෑ. දක්ෂයින්ට මගේ නිර්මාණවල තැනක් තියෙනවා. හැබැයි මගේ නිර්මාණවලට දායකවුණ දරුවන් චිත්‍රපට නිර්මාණයන්ට දායක වුණාට පස්සෙත් මම ඒ දරුවන්ව අතහරින්නේ නැහැ. මම ඒ අයගේ අධ්‍යාපනය ගැන හොයලා බලනවා. සරෝජා චිත්‍රපටයේ නිත්‍යවානි අද වෛද්‍ය සිසුවියක්. සමනළ තටු චිත්‍රපටයේ පුංචි දුලාංජලී මෙවර උසස් පෙළ විභාගයෙන් ඒ දෙකයි බී එකයි ගෙන ඉහළින්ම සමත් වුණා. දරුවන්ගේ රූගත කිරීම් හැමදෙයක්ම කළේ නිවාඩු කාලේදීයි. මොකක් හරි හේතුවත් නිසා නිවාඩු කාලයට අමතරව දිනවලදීත් රූගත කිරීම් තිබුණොත් මම ගුරුවරයෙක් රූගත කිරීම් කරන තැන ගෙනත් තියාගෙන දරැවන්ට විවේක කාලවලදී ඉගැන්නුවා.

ඔය ජීවිතේදී රේණුකා බාලසූරිය නම් ඇය ගැන කතා නොකළොත් ලොකු අඩුවක්. කොහොමද ඇයව මුණගැහුණේ....?
ඒක ඉතින් වෙනමම චිත්‍රපටයක් තමයි. ලයනල් වෙන්ඩ්ට් එකේ ඉගෙන ගන්න කාෙලදී මම මහ රෝහලේ වැඩකරනවා. එතකොට මම හොඳ ඉලන්දාරියා. ඒකෙදි ධම්ම ජාගොඩගේ කණ්ඩායමෙන් නාට්‍යයක් කළා. ඔය නාට්‍යයට පසුබිමෙන් නර්තනයක් ඉදිරිපත් කරන්න ගැහැනු ළමයි ටිකක් ඕන වුණා. ඉතින් මේකට ඉස්කෝලේ කොට ගවුම් ඇඳගත්තු කෙල්ලෝ ටිකක් ආවා. එතකොට අපි ඉලන්දාරියෝනේ. අර බෝල බෝල පොඩි කෙල්ලෝ දිහා අපි බලාගෙන හිටියා. එතන බෝල විසේකාර පොඩි කෙල්ලක් හිටියා. හැබැයි අපිත් එක්ක කතා නෑ. මේ ගෑනු ළමයා ළඟ මගේ හිත නතර වුණා. ඒ කාලේ මම කවි ලියනවනේ. ඉතින් මම කවියක් ලියලා මේ පොඩි කෙල්ලට හොරෙන් දුන්නා.

නෙළුම් මල් විලක් මැද හිරු හිනැහෙන     උදේ
බිඟුන් නොදුටු මලක් හදිසි පියකරු            ළඳේ
තලන් දෙන තාලයට ගැසෙනා විට බෙර      පදේ
රැඟුම් දෙන ඔබ සොයා මගේ නුවන් ඔබ වෙත   ඇදේ
මෙහෙම ලියන මම එක්කල උඹ තරහද චූටි   කුමාරිය
මාත් එක්ක කවදාවත් තරහ වෙන්න එපා චූටි කුමාරිය

කියල කවි පද ලියලා දුන්නා. හැබැයි ලියුම දුන්නාට මම හිටියේ බයෙන්. විවේක වේලාවේදී රේණු මම ළඟට ආවා. සෝමේ අයියා.... අර කවිය හරි ලස්සනයි. මට තවත් එකක් ලියලා දෙන්නකෝ... කියලා රේණුකා මට කිව්වා. එදා ඉඳන් මම රේණුකා වෙනුවෙන් කවි ලියනවා.

- ඩිෂානි -

YOU MAY ALSO LIKE