Monday, February 19, 2018
- nethgossip.lk@gmail.com

‘‘මම කැමතියි ජීවිතය පුරාවටම ආදරය කියන මාතෘකාවට. චතුරිකා කවදාවත් සෙට් එකට ෆෝන් එකවත් අරගෙන එන්නේ නැහැ‘‘ එකසැරේ පත්තු වුන ප්‍රගීත් - චතුරිකාගේ ආදර කතාව.

4167Views

‘‘ආදරෙයි මං‘‘ චිත්‍රපටය මේ දවස්වල ගොඩක් දෙනාගෙ කතාබහට ලක්වෙනවා. කාලයක් නිහඬව සිිටි ප්‍රගීත් රත්නායක කරපු බොහොම අපූරු නිර්මාණයක් කියලා තමයි චිත්‍රපටය බලපු උදවිය කියන්නෙ. කොහොම උනත් රොබින් ප්‍රනාන්දු, නීල් අලස්, ප්‍රගීත් රත්නායක, චතුරිකා පීරිස්, චමිලා පිරිස්, නයනා රඹුක්කනගේ, බුද්ධික ඉඳුරුගොල්ල වැනි ප්‍රවීන රංගන ශීල්පීන් ශිල්පිනියන්ගේ දායකත්වයෙන් නිම වුන වෙනස් විදියේ මේ චිත්‍රපටය ගැන ප්‍රගීත් කියන්නෙ මේ වගේ කතාවක්.

කාලයකට පස්සේ ඔබ අධ්‍යක්ෂණය කරන ඔබේ රංගනයත් දකින්න පුළුවන් නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනත්?

ඔව්. 'ආදරෙයි මං' චිත්‍රපටය දැන් තිරගත වෙන්න පටන් අරගෙන තියෙනවා. අපි එක එක අය එක එක විදියේ නිර්මාණ කරන්න සංවේදීයි. සමහරු කොමඩි නිර්මාණ කරන්න, වීර කතා කරන්න කැමැතියි. මම කැමැතියි ජීවිතය පුරාවටම ආදරය කියන මාතෘකාව යටතේ මොන යම් හෝ දෙයක් කරන්න. මම මුලින්ම කළේ රෝමියෝ ජුලියට් නාට්‍යය. දෙහදක් ආදරෙන් පිටපත ලිව්වෙත් මම. ඒවත් එක්ක මම වඩා සංවේදී ආදරේ කියන මාතෘකාවට.

ආදරය විකුණන්න පහසු නිසා එවැනි නිර්මාණ කරනවා කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්?

විකුණන්න පහසු හින්දම නෙවෙයි. සමහරු හාස්‍යමය චිත්‍රපට කරනවා. සමහරු ළමා චිත්‍රපට කරනවා. ඉතිං මට ආදරය ගැන ලියන්න වගේම එයින් නිර්මාණ කරන්න පුළුවන් කියලා මම හිතනවා. මුදලම ගැන හිතලා නෙවෙයි එය කරන්නේ.

චිත්‍රපටයේ වැඩ නිම කරලා කාලයක් බලාගෙන ඉන්න වුණා නේද?

චිත්‍රපටයේ වැඩ අවසන් කරලා අවුරුදු තුනක් විතර වෙනවා. මේ අවුරුද්දේ තමයි චිත්‍රපටය තිරගත කරන්න අවස්ථාව ලැබුණේ.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ කටයුතුවලට ප්‍රගීත් මහන්සි ගත්තේ නෑ නේද?

මම යූ ටියුබ් එකටවත් ප්‍රචාරක පටයක් මුදා නොහැරියේ ගොඩක් අය චිත්‍රපට කරලා පූර්ව ප්‍රචාරක පට මුදා හරිනවා. ඒ ගොඩ මැද්දේ මගේ චිත්‍රපටයත් කලවම් වෙයිද කියලා මට හිතුණා. ඒ නිසා මම හිතුවා නිවැරදි අවස්ථාවෙදි ප්‍රචාරණ කටයුතු කරනවා කියලා.

ඒ කියන්නේ වැඩේ එකසැරේ පත්තු කරන්නද ඕන වුණේ?

ඇත්තටම වැඩේ පත්තු කරන්න වුවමනාව තිබ්බා. ඒ හිතපු විදියටම වැඩේ පත්තු වෙලා. එන ප්‍රතිචාරත් එක්ක වැඩේ පත්තු වෙලා කියලා හිතනවා.

ඒ කියන්නේ "ආදරෙයි මං" වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙන්න පුළුවන්ද?

චිත්‍රපටය විශාල ප්‍රචාරණයකින් තොරව ඉතාම හදිසියේ තමයි මුදා හැරියේ. ඒක මම හිතලම කරපු එකක්. චිත්‍රපටය තිරගත වෙන්න අරගෙන පළමුවැනි සතියෙම ඉතාම හොඳින් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක ඇත්තටම සතුටට කාරණයක්. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මුදාහැරියට පස්සේ ගොඩක් අය මට කතා කරලා කිව්වා 'ඔයා ඉන්න චිත්‍රපටයක් එනවා නේද? හරිම සන්තෝෂයි' කියලා. චිත්‍රපටය බලපු අයත් කියනවා. එය හරිම ආදරණීයයි කියලා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ගමන් ඔබ එහි ප්‍රධාන රංගන භූමිකාවත් නිරූපණය කරනවා. අධ්‍යක්ෂණ කාර්යයයි රංගන භූමිකාවයි දෙකම එකට කරද්දි සාර්ථක වෙන්න පුළුවන් කියලා හිතුවද?

මගේ ජීවිතේ සියලු දේවල් මම කැප කළේ නළුවෙක් වීම වෙනුවෙන්. මම ආචාර්ය සලමන් ෆොන්සේකා මහත්මයාගේ ගෝලයෙක්. මම රංගනය පැත්තෙන් හෝ අධ්‍යක්ෂණය පැත්තෙන් හොඳ දෙයක් කරනවා නම් ආචාර්ය සලමන් ෆොන්සේකාට තමයි සියලුම ගෞරවය හිමි වෙන්න ඕන. අපි රංගනය විතරක් නෙවෙයි අධ්‍යක්ෂණය ඇතුළු බොහෝ දේ හැදෑරුවා. හොඳ නළුවකුට හොඳ අධ්‍යක්ෂවරයෙක් වෙන්න ඉතාම ලේසියි. අවසානයේ අපි දෙන රූපරාමුව ඇතුළේ අපි දකින්නේ නළු නිළියෝ පිරිසක් චරිතයට කරන සාධාරණය. මට ගැටලුවක් වුණේ නැහැ මේ කාර්යයන් දෙකම කරන්න. අධ්‍යක්ෂණයයි, රංගනයයි දෙකම අරමුණු කරගෙන තමයි මම සියලු හැදෑරීම් කරන්නෙ.

ඒ කියන්නේ හොඳ හැදෑරීමක් තිබ්බොත් මේ කාර්යයන් දෙකම සාර්ථක කරගන්න පහසුයි කියන එකද?

රඟපෑම කියලා දැන් ගොඩක් වැඩමුළු කරනවා. මේ වැඩමුළු ඇතුළේ ආධ්‍යාත්මික නළුවා හදනවද කියන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රඟපෑම හදාරනවා කියන්නේ උඩ පනින එකවත්, කෑ ගහන එකවත් නෙවෙයි. මනස සහ ශරීරය ආධ්‍යාත්මිකව දියුණු කරන්න ඕන. එහෙම හරි විදියට එන නළුවෙක්ට දෙයක් කරන්න පහසුයි. මමත් එවැනි නළුවෙක් වෙන්න කාලය, ජීවිතය කැප කළා. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවනේ. මට ඒ කළ කැපවීම්වල ප්‍රතිඵල එන්න පටන් අරගෙන තියෙනවා.

'ආදරෙයි මං' හි ප්‍රධාන රංගන ශිල්පිනිය චතුරිකා පීරිස්. ඔබ සහ ඇය නිර්මාණය තුළ හොඳ සුසංයෝගයක් කියලා හිතනවද?

මගේ පරම්පරාවේ මම රඟපාපු නිළියන් අතරින් මම දැකපු හොඳම කෙනෙක් චතුරිකා. චතුරිකා කවදාවත් සෙට් එකට ෆෝන් එකවත් අරගෙන එන්නේ නැහැ. චතුරිකා මේ චිත්‍රපටයේ ලොකු කැපකිරීමක් කළා. චතුරිකාට දිග කොණ්ඩය දාලා මේකප් එක දාන්න පැය තුනක් විතර යනවා. ලොකු කැපකිරීමක් එයා කළේ. චතුරිකා එක්ක මම ඉස්සෙල්ලම වැඩ කළේ දෙහදක් ආදරෙන් ටෙලි නාට්‍යයේ. එහි රඟපාද්දි මම දැක්කා එයාට සියුම්ව රංගනය තුළ ඉන්න පුළුවන් කම. ඒ නිසා මට දෙපාරක් තුන්පාරක් හිත්නන ඕන වුණේ නැහැ එයාව ගන්න. එයා එක්ක වැඩ කරන්නත් හරිම ලේසියි. ඇයට තියෙන දක්ෂතාව විශේෂ හේතුවක් වුණා ඇයව මේ චරිතයට තෝර ගන්න.

චතුරිකා ඇරෙන්න ඒ චරිතය වෙනුවෙන් වෙන තෝරා ගැනීමක් තිබුණෙම නැද්ද?

දෙහදක් ආදරෙන් ෂූටින් ඉවර වෙද්දිම තමයි මම 'ආදරෙයි මං' තිරපිටපත ලිව්වේ. චතුරිකාට දුන්නා මම ඒ තිරපිටපත කියවන්න කියලා. තිරපිටපත ලිව්වෙත් චතුරිකාව හිතේ තියාගෙන තමයි.

ඒ ආරාධනාව චතුරිකා එක පයින් භාර ගත්තද?

ඇත්තටම කියනවා නම් චතුරිකා මේ වැඩේට පොඩ්ඩක් පස්ස ගැහුවා. චතුරිකාට නළුවෙක් විදියට මං ගැන අවිශ්වාසයක් තිබ්බේ නෑ. නමුත් මම අධ්‍යක්ෂණය කරලා රඟපාද්දි මේ නිර්මාණය කොහොම වෙයිද වගේ හැඟීමක් ඇති වුණා කියලා චතුරිකා පස්සේ කිව්වා. මම දවස් දෙක තුනක් කරදර කළාම බේරෙන්න බැරි කමට චතුරිකා වැඩේට කැමැති වුණා.

ප්‍රගීත්ට අවශ්‍ය රංගන දායකත්වය චතුරිකාගෙන් ගන්න පුළුවන් වුණාද?

මට අවශ්‍ය කාර්යයටත් වඩා දහස් ගුණයක් වැඩියෙන් ඒ දායකත්වය ලැබුණා.

චිත්‍රපටයේ පාවිච්චි කරලා තියෙන ගීතත් විශේෂයි. වික්ටර් රත්නායකයන්ගේ හාඬින් තමයි ඒ ගීත ඇහෙන්නේ. වික්ටර් රත්නායකයන්ගේ ගීතම චිත්‍රපටයට පාවිච්චි කරන්න විශේෂ කාරණාවක් තියෙනවාද?

මම හුඟක් විශ්වාස කරනවා ස්ක්‍රීන් වොයිස් කියන එක. වික්ටර් රත්නායක කියන්නේ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග වැනි ශිල්පීන්ටත් පසුබිම් ගායනය කරපු කෙනෙක්. වික්ටර් රත්නායකයන්ගේ හඬ තරුණ වුණා මිසක වයසට ගියේ නැහැ. රටේ තියෙන ප්‍රේමණීයම හඬ ආදරෙයි මං චිත්‍රපටයට භාවිත කරන්න මම දෙපාරක් තුන්පාරක් හිතුවේ නැහැ. මම හැම සිංදුවක්ම පාවිච්චි කරලා තියෙන්නේ හේතුවකට.

මේ චිත්‍රපටය රැල්ලටම නොයෙන අතීතයේ තිබූ සිනමාවේ හැඩය ගෙනාපු චිත්‍රපටයක් කියලා සමහරු කියනවා. ඔබටත් එවැනි අදහසක් තිබුණාද?

කොපියක් කරන්න නෙවෙයි ලංකාවේ මිනිසුන්ට දැනෙන චිත්‍රපටයක් කරන්නයි මට ඕන වුණේ. පසුගිය කාලේ කෙරුණ ගොඩක් චිත්‍රපට දකුණු ඉන්දියානු ආභාෂයෙන්ම කරන්න හදපුවා. මගේ චිත්‍රපටය ලංකාවේ ආභාෂයට ආපු නිසයි ඔහොම කියනවා ඇත්තේ. අපේ රටට ගැළපෙන රොමෑන්ටික් චිත්‍රපටයක් මගේ චිත්‍රපටය.

ලංකාවේ චිත්‍රපට හැදුවා වගේම ඒ චිත්‍රපට ප්‍රේක්ෂකයෝ බලන තත්ත්වයටත් ගේන්න ඕන. චිත්‍රපටය දුවවන්න ප්‍රගීත් මහන්සි වෙනවාද?

මම විශ්වාස කරනවා සිනමාව කියන්නේ කර්මාන්තයක්. සිනමා ශාලාවට යන මනුස්සයට ආධ්‍යාත්මික රසවින්දනය වගේම චිත්‍රපටය ඇතුළෙත් යමක් තියෙන්න ඕන. ගෙවල්වල තියෙන ප්‍රශ්න ටිකක් එක්ක චිත්‍රපට ශාලාවට ගිහින් තවත් ප්‍රශ්න ටිකත් ඔළුවට දාගෙන එන්න ඕනේ නැහැ. කලාවේ තියෙන ආනන්දය තියාගත යුතුමයි. චිත්‍රපටයක් සිනමාහලකට මුදා හරිද්දී කොලිටියක් වගේම මිනිසුන්ට ඇවිත් බලන්න පුළුවන් කතාවක්, රසවින්දනයක් තියෙන දෙයක් විය යුතුයි. ඉතිං ඒ නිසා මේ චිත්‍රපටය බලන්න ප්‍රේක්ෂකයෝ එයි.

දැන් දිගටම අධ්‍යක්ෂණ භූමිකාවේ රැඳෙයිද?

මේ චිත්‍රපටය තිරගත වුණාට පස්සේ මට මේ වෙන කොටත් චිත්‍රපට දෙකක් කරන්න නිෂ්පාදකවරු කතා කරලා තියෙනවා. ආදරෙයි මං ප්‍රදර්ශනය කරලා අවසන් වෙනකල් තමයි මම පස්ස ගගහා ඉන්නේ.

ලොකු කාලයකින් ඔබව ටෙලි නිර්මාණයක දැක්කෙත් නැහැ.?

ඔව්. මම අවුරුදු හතක් විතර ටෙලි නාට්‍යවල රඟපාලා නැහැ. චිත්‍රපටය රිලීස් කරන බලාපොරොත්තුවෙන් හිටපු නිසා තමයි මම රඟනොපා හිටියේ.

- තිළිණි කෞශල්‍යා විජේසිංහ -

YOU MAY ALSO LIKE