Sunday, December 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

''එක පාරක් සිනමාශාලාවක කළමනාකාරයෙක්ට ඇදලා අරගෙන ගැහැව්වා - ජීවිතේට මම මොරින්ගෙන් ඒ ගැන ඇහැව්වේ නැහැ.'' රිදී තිරයේ දුෂ්ටයා කතා කරයි..!

3367Views

රිදී තිරය තුල අපි දකින ගොඩක් නිර්මාණ වල දුෂ්ටයාගේ චරිතයට පන පොවන කෙනෙක් තමයි ක්ලීටස් මෙන්ඩිස් කියලා කියන්නෙ. දක්ෂ,ප්‍රවීණ කළාකරුවෙකු වන ක්ලීටස් මෙන්ඩිස් සාමාන්‍ය ජීවිතයේදීනම් බොහොම නිරහංකාර චරිතයක්. පසුගිය දවසක් ක්ලීටස් තමන්ගෙ ආගිය මග පුවත් පතකට කියලා තිබුනෙ මේ විදියට.

රිදී තිරයේ දුෂ්ටයාගේ චරිතයට රංගනයෙන් දායක වුණත් සැබෑ ජීවිතේ ඔහු නිරහංකාර චරිතයක්. දක්ෂ, ප්‍රවීණ, ජනප්‍රිය කලාකරුවෙක් වන ඔහු නමින් ක්ලීටස් මෙන්ඩිස්. මෙවර ආගිය තොරතුරු දැනගන්න ඔහුට කතා කළා.

මොනවද අලුත් තොරතුරු?
ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඒ වැඩ තමයි මේ දවස්වල කරන්නේ.

ඔබ රූපවාහිනී ටෙලි නාට්‍ය නරඹනවාද?
ඒක නම් වෙන්නේ නැති දෙයක්. අපේ එකක්වත් බලන්න වෙන්නේ නැහැ.

ප්‍රවීණයෙක් විදිහට වර්තමාන ටෙලි නාට්‍ය ගැන මොකද හිතෙන්නේ?
අද සම්පූර්ණ පිටපතක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ ‍පොඩි පිටපතක්. ඉස්සර පිටපතක් ලැබෙනවා. ඒ පිටපත මාසයක් දෙකක් කියවලා ඒක අධ්‍යයනය කරලා තමයි චරිතයට රංගනයෙන් දායක වෙන්නේ. ඒත් අද රැල්ලකට හැමදේම පුරුදුවෙලා තියෙන්නේ. අපි ආවා, පිටපත දුන්නා, ඩයලොග් කියෙව්වා, රඟපෑවා, එච්චරයි. මට ඒකට දොස් කියන්න බැහැ. මමත් ඒ රැල්ලට වැටිලා ඉවරයි. පහළොව විස්ස කොටස් චිත්‍රපටවල කරලා රූපවාහිනී නාළිකාවලින් ගන්න කැමති වුණහම තමයි අනිත් කොටස් කරන්නේ. නාළිකාවලින් ලැබෙන මුදලත් එක්ක ඊට වඩා දෙයක් කරන්න අමාරුයි. ඒ දෙයින් වෙන්නේ ආර්ටිස්ලා මැරෙන එක. අපි එතැනට ඇද වැටිලා තියෙනවා. මට ඒකට වැරැද්දක් කියන්න බැහැ. මම මේකට දොස් කියනවා නම් මම රංගනයේ නොයෙදෙන්න ඕන.

ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන්ද ඔබ ඉන්නේ?
ඇත්තටම කලකිරීමක් තියෙනවා. මම මේ ක්ෂේත්‍රයේ ඉන්නේ 1975 ඉඳන්. සිනමාවට, වේදිකාවට යොමුවුණේ පුදුම ආසාවකින්. සල්ලිවලට ‍නෙවෙයි මුල්තැන දුන්නේ. එදා ලැබෙන හැම චරිතෙම හරිම ආසාවකින් කළා. වෘත්තීය වශයෙන් මට ලැබෙන මුදල ලැබෙනවා නම් මම යනවා. අද අපි එතැනට යනකම් දන්නේ නැහැ ලැබෙන්නේ මොන වගේ චරිතයක්ද කියලා. අපි මොනවා කළත් ඒ මොහොතේ ලැබෙන චරිතෙ හරියට කරනවා.

ඔබ සිනමාවට එකතුවෙලා වසර හතළිහකටත් වැඩියි. ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
මම හිතුවේ නැහැ මේ තරම් කලකිරීමක් ඇතිවෙයි කියලා. සිනමාව ගැන විශාල කලකිරීමක් තියෙනවා. චිත්‍රපට හෝල්කාරයන් නිසා තියෙන්නේ පුදුම කලකිරීමක්. මගේ චිත්‍රපටය තිරගත වෙන්න අරගෙන සතියක් යන්න කලින් දවසට එක පාරක් මගේ චිත්‍රපටය තිරගත කරලා අනික් වෙලාවට වෙන චිත්‍රපට පෙන්වනවා. මේවා කාට කියන්නද?

මේ චිත්‍රපට කලාව තුළ අද මාෆියාවක්. මම මගේ ෆිල්ම් එක  කළේ ගේ උකස් කරලා. අපිට වෙන දෙයක් කරන්න බැහැ. අපි දන්න දේ ඕකනේ. බොහොම අමාරුවෙන් චිත්‍රපටයක් හදලා එය තිරගත කරපු ගමන් ඒක එතැනින් ඉවර වෙනවා. මේ ක්ෂේත්‍රය අල්ලගත්ත දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ අය තමයි මේ හැමදේම කරන්නේ. නළුවෙක් කියලා මට මේ දේට උදව් කරයිද? නැහැ, එහෙම උදව් කරන්නේ නැහැ. කාට කීවත් මේක නතර කරන්න බැහැ. එහෙම කීවහම සිනමාශාලා අයිතිකාරයෝ වර්ජනය කරනවා. රසික රසිකාවියෝ ඕන තරම් ඉන්නවා චිත්‍රපට බලන්න. එක පාරක් සිනමාශාලාවක කළමනාකාරයෙක්ට ඇදලා අරගෙන ගැහැව්වා. මගේ ‘පරපුර’ පෙන්වද්දි මොරටුවේ සිනමාශාලාවට යද්දි මුළු ශාලාවම පිරිලා. ඒත් ඔවුන් දාලා තිබුණේ විසිපස් දෙනකුගේ ගාණ විතරයි. මම කාට වරදක් කරලද මෙහෙම වෙන්නේ? මම මගේ නම හදාගත්තේ බොහොම පිරිසිදුව. ඕන කෙනෙක්ට මම වචනයක් කියන්නේ නැහැ. නිෂ්පාදකයන්ට මම කරලා තියෙන උදව්, අදටත් ලක්ෂ සීයකට වඩා මට එන්න තියෙනවා. මම අත්සන් කරපු ගිවිසුම්වලට නඩු දැම්මා නම් අඩු ගාණේ ලක්ෂ තිහක් හතළිහක්වත් මට ලැබෙනවා. මම එහෙම කරන්නේ නැහැ. මම කෑගහලා සල්ලි ගන්නවා. එදා චිත්‍රපටයෙන් ලැබෙන අත්තිකාරම් මුදලෙන් ජීවත්වෙලා තියෙනවා. ඒත් අද එහෙම කරන්න අමාරුයි.

ඔබ වැඩිපුර දකින්න ලැබුණේ සටන් ජවනිකාවල. එවැනි චරිතවලට ආරාධනා ලැබුණේ පෙනුම නිසාද?
ලැබෙන චරිතය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මර්වින් ජයතුංග දුෂ්ටයාගේ චරිතයට කොටුවුණා. මම වීරයාගේ චරිතය කළා. නමුත් වැඩි ප්‍රමාණයක්ම කළේ දුෂ්ටයාගේ චරිත. ගාමිණී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම, ජීවන් කුමාරතුංග, විජය කුමාරතුංගේ ඉඳන් මම රඟපෑවේ දුෂ්ටයාගේ චරිත. ඒ අය ගොඩක් දුෂ්ටයාට ඉල්ලලා තියෙන්නේ මාව.

පෙම්වතාගේ චරිතයට රංගනයේ යෙදෙන්න ආරාධනා ලැබුණේ නැද්ද?
මටත් ආසාවක් තිබුණා වීරයා වෙන්න. නමුත් දුෂ්ටයාට වැඩිපුර ආරාධනා ලැබුණ නිසා මම ඒ ගැන දුක්වුණේ නැහැ. මම වීරයා වුණ චිත්‍රපට හයක් විතර තියෙනවා. නමුත් ඒවා තිරගත වුණේ නැහැ. හීරෝ මමම වෙන්න හිතාගෙන චිත්‍රපටයක් කළා මම. විජය අයියාට මේ ගැන කීවහම කීවා එයාට ‍පොඩි චරිතයක් දෙන්න කියලා. ඒ චිත්‍රපටය කළාම ප්‍රේක්ෂකයෝ මට නොසෑහෙන්න බැන්නා ‘ඔයා කොහොමද වීරයා වෙන්නේ, විජයට ‍පොඩි චරිතයක් දීලා’ කියලා. ‘ඔයා කොහොමද වීරයා වෙන්නේ විජයනේ වීරයා, ඔයා දුෂ්ටයානේ කිව්වා.

රංගන ශිල්පියෙක් ලෙස රූපය පවත්වාගෙන යන්න මොකද කරන්නේ?
ඒ දවස්වල මම ව්‍යායාම කළා. මම මගේ ශරීර සෞඛ්‍යය ගැන හිතුවා. රංගන ශිල්පියෙක් ලෙස රූපය ගැන හිතන්න ඕන. එහෙම වුණොත් තමයි මගේ ගමන යන්න පුළුවන්. මම මගේ සෞඛ්‍යය ගැන හරියට හිතුවා. සටන් කියන දේට හරියට මහන්සි වෙනවා. අද වුණත් මම සටන් ජවනිකා කරනවා. ඒකට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ මම එදා ශරීර සෞඛ්‍යය ගැන හිතලා නිරෝගීව හිටිය නිසයි.

නැවත නිර්මාණකරණයේ යෙදෙන්න අදහසක් නැද්ද?
ක්ෂේත්‍රය ගැන කලකිරීමක් ඇතිවෙලා තියෙනවා. ඒත් මේ ක්ෂේත්‍රය ගැන උණක් තියෙන නිසා තව චිත්‍රපටයක් කරන්න සැලසුම් කරගෙන යනවා.

ක්ෂේත්‍රයට එකතු වෙන නවකයෝ ගැන මොකක්ද අදහස?
අපිට වඩා දක්ෂතාවලින් පිරි නවක පරපුරක් ඉන්නවා කියලා පේනවා. නමුත් වර්තමානයේ රංගන ශිල්පීන්ට ස්ථාවරයක් තියාගන්න අමාරුයි. ඒකට ඔවුන්ට දොස් කියන්න බැහැ.

විවේකයක් ලැබුණහම කොහොමද ගෙදරදි කාලය ගතවෙන්නේ?
ගෙදර වතුපිටිවල වැඩ කරගෙන මගේ බිරිඳට උදව් කරගෙන තමයි ඉන්න කැමති. ගෙදර ඉන්න වෙලාව අඩු වුණත් මට ‍පොඩි වෙලාවක් තිබුණත් නිකම් ඉන්නෙම නැහැ. ඒ මගේ හැටි. මගේ පදිංචිය මීගමුවේ. කොළඹ පදිංචි වෙන්නෙ නැත්තෙත් මට ගමේ සුන්දරත්වය විඳින්න ඕන නිසයි.

රංගනයේදි ඔබ දුෂ්ටයා වුණත් තරුණ කා‍ලේ තරුණියන්ගෙන් විශාල ආකර්ෂණයක් ලැබෙන්න ඇති නේද?
එහෙම දේවල් තිබුණා. ඒත් මගේ ජීවිතේ අම්මා කියන චරිතෙට ලොකු තැනක් තිබ්බා. කොච්චර හිතවත්කම් තියාගන්න පුළුවන්කමක් තිබුණත් එහෙම කළේ නැහැ ගෙදරට දැනගන්න ලැබෙයි කියලා.

ක්ෂේත්‍රයේ එකට වැඩ කරද්දි හිත ගිය කෙනෙක් හිටියේ නැද්ද?
මොරින් චාරුණී ගැන මගේ හිතේ අදහසක් තිබුණා. ඒ කා‍ලේ මම අවිවාහකයි. ජීවිතේට මම මොරින්ගෙන් ඒ ගැන ඇහැව්වේ නැහැ. ඇය ගැන මට තිබුණේ ලොකු ගෞරවයක්. ආදරයක් තිබුණා, ඇය බොහොම හොඳ කෙනෙක්. අනිත් අයට දොස් කියනවා ‍නෙවෙයි. ඇය, ඇය ගැන හරියටම පරිස්සම් වුණා. අම්මා එක්ක තමයි ෂූටින් ආවේ. ඒ නිසා වෙන්න ඇති ඒ කා‍ලේ ඇය ගැන මගේ හිතේ කැමැත්තක් ඇතිවෙන්නේ.

කොහොමද ඔබේ බිරිඳව මුණගැහෙන්නේ?
මගේ මම්මා මට විවාහ යෝජනා ගෙනාවා. මම පනහක් විතර බලන්න ගියා. ඒත් මට ඒ එක්කෙනෙක්වත් ගැළපුණේ නැහැ. අක්කා තමයි ඇයව මට යෝජනා කළේ. බිරිඳ මුලින්ම මට අකමැති වුණා මම නළුවෙක් නිසා. පස්සේ ඇයගේ තාත්තා මුල්වුණා. ඒ අනුව තමයි මම ඇයව විවාහ කරගත්තේ.

ප්‍රථම ප්‍රේමය මතකද?
මතකයි. ඒ කා‍ලේ අද වගේ ‍නෙවෙයි. හම්බවෙලා කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ලියුම්වලින් තමයි අපි ආදරය කළේ. එකම එක දවසක් ගෙදරදි මුණගැහුණා. වචන දෙක තුනයි කතා කරන්න ලැබුණේ.

තිළිණි කරුණාරත්න

YOU MAY ALSO LIKE