Tuesday, April 24, 2018
- 0770586666

ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්..! කතරගම දෙවියන්ටත් ප්‍රශ්න තිබුණා. තනතුරෙන් පහ කල කතරගම දේවාලයේ බස්නායක නිලමේ කියන කතාව.

3083Views

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ පදවිය දැරූ ඩී.පී.කුමාරගේ  තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කල බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කලා.  බස්නායක නිලමේ වරයාට එල්ලවී ඇති චෝදනා කිහිපයක් විභාග කිරීම සඳහා බස්නායක නිලමේ වරයා තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කල බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමන් පුවත් පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබුණා.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඔබ තාවකාලිකව කතරගම බස්නායක නිලමේ තනතුරෙන් ඉවත් කළ බව  ප්‍රකාශ කොට තිබුණා. කුමක්ද ඊට හේතුව?

ඇත්තෙන්ම ඒකට නිශ්චිත හේතුවක් මටත් අපහැදිලියි. එතුමා කියා තිබෙන්නේ මට විරුද්ධව එතුමාටත් බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාටත් ලැබූ ඇති පෙත්සම් කිහිපක් විභාග කිරීම සඳහා මා තාවකාලිකව තනතුරෙන් පහ කළ බවයි. නමුත් මෙම බස්නායන නිලමේ තනතුර කන්ද උඩරට රාජධානි සමයේ සිට පැවැත එන්නක්. නමුත් ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දුන් විහාර හා දේවාල ගම් පනත ප්‍රකාරව වුවත් බස්නායක නිලමේ වරයෙකු පෙත්සම් විභාගයක් සඳහා  තාවකාලිකව තනතුරෙන් නෙරපූ අවස්ථාවක් පිළිබඳ පුර්වාදර්ශයක් සොයා ගැනීමටවත් නැහැ. මේ නිසා මෙය ගැටළු සහගතයි.

ඒ අනුව ඔබ සිතන්නේ කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියාද?

කුමන්ත්‍රණයක් කෙසේ වෙතත් කතරගම දේවාලයේ කපු මහතුන් අතරින් දෙදෙනෙකු තමන්ගේ විෂය පථය ඉක්මවා හිතුවක්කාර ලෙස කටයුතු කරගෙන යාම නිසා කිසියම් අර්බුදකාරී තත්වයක් පැන නැගී තිබෙනවා. මේ අර්බුදය දුර දිග යාමෙන් පසුගිය වසරේ අගෝස්තු 22 දා දේවාලයේ අළුයම පුජාව තැබීමට පවා බාධා පැමිණ තිබුණා.
නමුත් විහාර හා දේවාල ගම් පනත අනුව වුවත් සමස්ත දේවාලයේ පරිපාලන කටයුතු මෙහෙයවීමට කපු මහතුන්ට බැහැ.  ඒ අනුව එම කපු මහතුන් දෙදෙනාට විරුද්ධත්වය පෑම මුල් කොට ඔවුන් මා හා නොමනාපයෙන් පසුවන බව පැහැදිලියි. ඇමතිතුමාගේ මෙම තීරණයත් ඔවුන්ගේ නොමනාපයත් අතර කිනම් හෝ සැබැදියාවක් තිබේ දැයි මා දන්නේ නැහැ.

නමුත් නොනිල වශයෙන් පැවසෙනුයේ දේවාලය සම්බන්ධ මුදල් වංචා චෝදනා වලට ඔබ ලක්වී ඇති බවයි.

ඕනෑම කෙනෙකුට ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ඕනෑම ආකාරයකට චෝදනාවක් එල්ල කළ හැකියි. නමුත් එසේ චෝදනා එල්ලවූ පමණින් ඒ තැනැත්තා වරද කරුවෙකු වෙන්නේ නෑ. විවිධ වංචා දූෂණවලට සමබන්ධ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් වෙනත් අයෙකුට චෝදනා එල්ල කිරීම තුළින් නිදොස් වීමට බැලීමත් අද සමාජයේ නිතර අත්දකින්ට ලැබෙන සිදුවීමක්.

ඔබ කියන්නේ ඉහත සඳහන් කපුමහතුන් දෙදෙනා එසේ වංචනිකයන් කියාද?

කිසිවෙකුටත් එසේ පදනම් විරහිතව චෝදනා නැගීමට මට බැහැ. මට කිව හැක්කේ මගේ නිර්දෝෂීභාවය පිළිබඳව පමණයි.
කෙසේ හෝ මා බස්නායක නිලමේ ධුරයේ වැඩ බාරගත් පසුව දේවාලයටත් එහි පැමිණෙන බැතිමතුන්ටත් සැලකිය යුතු මෙහෙවරක් සිදු කිරීමට මට හැකි වුණා.කාලාන්තරයක් තිස්සේ ගොළු බෙලි ගමනක යමින් සිටි දේවාලයේ පොදු පහසුකම් තත්වයන් විශාල වශයෙන් වර්ධනය කරන්නට මට හැකි වුණා.
ඒ පසුගිය කාලයේ දේවාලය සම්බන්ධ පරිපාලන ව්‍යුහය ආයතනික ව්‍යුහය ක්‍රමවත්ව සකස් කළ නිසයි. විශේෂයෙන් දේවාලයේ ආදායම් කළමනාකරණය පිළිබඳ මගේ අවධානය යොමු වූ නිසයි.නමුත් ඉහත් සඳහන් කපු මහතුන් දෙදෙනා තමන්ගේ සීමාව ඉක්මවා මගේ රාජකාරී කටයුතු වලට බලපෑම් කිරීම නිසා දේවාලයේ සංවර්ධනය බිද වැටී බැතිමතුන්ට සැලසෙන පහසුව අවම වීමේ අවදානමක් පවතිනවා

නමුත් දේවාලයක් කියු විට බැතිමතුන්ට එක්වරම සිහිවන්නේ කපු මහතුන් මිස බස්නායක නිලමේ වරයා නෙවෙයි.

බස්නායක නිලමේ වරයා කලඑළියට එන්නේ පෙරහැර මංගල්‍යය ආදී උත්සව අවස්ථාවලදී පමණයි. නමුත් දේවාලයේ අභ්‍යන්තර ව්‍යූහය තුළ ප්‍රධානම භූමිකාව දරනුයේ බස්නායක නිලමේ වරයායි. එය කන්ද උඩරට රාජධානි සමයේ සිට පැවැත එන අඛණ්ඩ සම්ප්‍රදායක්.බස්නායක නිලමේ වරයාට කණිෂ්ඨ වූ බෙත්මේරාල නම් පදවියක් රාජකාරී මණ්ඩලයේ තිබෙනවා. එවන් තනතුරු පිළිබඳව සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනෙක් දන්නේ වත් නැහැ.

කිසියම් නිලධාරීයෙකු සම්බන්ධ චෝදනාවක් එල්ලවූ විට ඔහු එම තනතුරේ සිටියදී ඒ සම්බන්ධයෙන් ඒ පිළිඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීමට බැහැ. ඔබ තනතුරෙන් පහ කර ඇත්තේ ඒ නිසා විය නොහැකිද?

රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ තීරණ බස්නායක නිලමේ වැනි ගරු තනතුරු වලට අදාල වන්නේ නැහැ. අනෙක දේවාල රාජකාරී සම්බන්ධයෙන් වුවත් එය ගැටළු සහගතයි. මා සම්බන්ධ කිසියම් වංචා දූෂණ චෝදනාවක් වුව හොත් එය නීතිය හමුවට ගෙන යා හැකියි. එසේ නොමැතිව මෙවැනි අනියම් ක්‍රියා මාර්ග ගැනීම අනුමත කරන්නට බැහ.  එසේ  නම් දේවාලයේ කපු මහතුන්ට විරුද්ධව එවැනි චෝදනා එල්ල වුව හොත් ඔවුන් කපු තනතුරෙන් පහ කිරීමටත් මට හැකි විය යුතුයි. නමුත් එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔය මට විරුද්ධව යවා ඇතැයි කියන සියළු පෙත්සම් වල ඇත්තේ ද්වේශසහගත චෝදනා බව මම දැඩි වගකීමෙන් යුතුව කියනවා.

මේ සම්බන්ධයෙන් ඔබ ගන්නා ඉදිරි පියවර මොනවාද?

මේක මට සිදුවූ අගතියක්. ඒ නිසා මම අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වනවා.

කතරගම දේවාලය හා සම්බන්ධ පාරම්පරික උරුමයන් ඇති කපු මහතෙකුට නැවත දේවාලයේ කපු පදවියක් හිමි කර දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තින්දුවට මොකද වුණේ?

ඉතා කණගාටුදායක ලෙස දේවාල පාර්ශවයෙන් එය තවමත් ක්‍රියාත්මක කොට නැහැ. 

එවන් තත්වයක් යටතේ ඔබට එරෙහිව පරීක්ෂණයෙන් ඔබ වරදකරු වුවහොත් ඔබට නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව බුද්ධ ශාසන අමාත්‍යවරයා පවසා තිබුණා.

මා කතරගම දේවාලයට ලැබෙන දෙයින් එක අබ ඇටයක් වත් අවභාවිතා කර නැහැ. මා හට චෝදනා කරන ඒ දෙදෙනා හා ඔවුන්ගේ පවුල් වල පිරිස් හැරුණු කොට සෙසු කපු මහතුන්, රාජකාරී මණ්ඩලවල සාමාජිකයන් කතරගම ප්‍රදේශවාසීන් වන්දනා කරුවන් ඇතුළු බොහෝ දෙනෙක් මේ සත්‍යය වටහාගෙන තිබෙනවා. ඔවුන් දුරකතනයෙන් කතා කරමින් ඒ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ නිසා ඇමතිතුමාගේ ඒ ප්‍රකාශය මට අදාල නැහැ.

එවන් තත්වයක් යටතේ ඔබේ ප්‍රශ්නයට වෙනත් පාර්ශව මැදිගත් නොවන්නේ ඇයි?

ඔවුන් නියත වශයෙන්ම මැදිහත් වුවහොත් කපුමහතුන් ඇතුළු රාජකාරී මණ්ඩල සාමාජිකයන් සහ කතරගම ප්‍රදේශවාසීන් තුළ පවා යම් බෙදීමක් ඇති වෙනවා. මා කියන කපු මහතුන් දෙදෙනා දේවාලය සම්බන්ධයෙන්  එක්තරා අන්දමක මාෆියාවක් ගොඩ නඟ ඇති අතර එැවැනි දේශසහගත ක්‍රියාවලින් පුදබිමට බරපතල අනර්ථයක් සිදුවනවා.

රටේ ජනගහණයෙන් වැඩි පිරිසක් තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නේ කතරගම දෙවිදුන්ට ; නමුත්  කතරගම දේවාලයේ බස්නායක නිලමේ වරයා ලෙස ඔබේ දුක් ගැනවිල්ල දෙවියන්ට ඉදිරිපත් නොකරන්නේ ඇයි?

කතරගම දේවාලයේ බස්නායක නිලමේ වරයා හැටියට මට වගේම කඳ සුරිඳුන් වැනි මහේශාඛ්‍ය දෙවිවරුන් හමුවේ වගේම බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා හමුවේත් ප්‍රශ්න ගැටළු අර්බුද පැන නැගුණ බව අප කාටත් රහසක් නෙවෙයි.
නමුත් මම පැහැදිලිවම කියනවා ; මේ ප්‍රශ්නයේදී මගේ හෘද සාක්ෂිය යුක්ති ධර්මය වගේම කඳ සුරිඳුත් මා සමඟම වැඩ වෙසෙන බව.

එස්.ටී.පී.සිල්වා - ලක්බිම

YOU MAY ALSO LIKE