Wednesday, September 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"අනියම් බිරිඳ එක්ක ලැඟුම්හලේ කරන දේවල් බිරිඳට දුරකථනයෙන් අහන්න දීලා" ජීවිත තුනක ඉරණම තීරණය කළ අනියම් පෙමක්!

6597Views

අනියම් ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් සිදුවන අවාසනාවන්ත සිදුවීම් සමාජයේ අතිශය සුලභ වී තිබේ. මෙවැනි අනියම් සම්බන්ධතාවයක් නිසා විවාහක පුද්ගලයෙකුට සිය විවාහය අහිමි වී ජීවිත කාලයම පසුතැවීමට සිදුවූ පුවතක් පිළිබදව සතිඅන්ත පුවත්පතක සටහනක් පළව තිබුනා. 

එම සටහන පහතින්,

සුරංගි සඳමාලි රූමත් තරුණියකි. අතිශයින්ම රූමත් තරුණියකි. සිහින් දිගැති නෙත් සඟළ, සඳක්‌ මෙන් වටකුරු මුහුණ, තරමක්‌ දිගැති කෙස්‌ කළඹ සහ නිරතුරු මුහුණේ රැඳුණු සුන්දර සිනහව ඇයගේ රූමත් බව තව තවත් ඔප් නැංවීමට දෙවියන්ගෙන් ලැබුණු දායාදයක්‌ බඳු විය. බොහෝ අය පවසනුයේ අවට ගම් හතක සුරංගි වැනි රූමත් යුවතියක්‌ නොමැති බවයි.
 
උපතින් රූමත්කම මෙන්ම දුප්පත්කමද ඇය රැගෙන ආවාය. සොයුරු සොයුරියන් හය දෙනෙකු හිටි පවුලේ ඇය සිව් වැනියා වූවාය. මවට රැකියාවක්‌ නොමැති වීමත් පියා කුරුඳු කාර්මිකයෙකු වීමත් නිසා ඔවුන් කුඩා කල සිටම ගත කළේ අග හිඟකම්වලින් පිරුණු ජීවිතයකි. ඌරගස්‌මංහන්දිය නවගල පදිංචිව සිටි මෙම පවුල අගහිඟකම් මැද වුවද සතුටින් ජීවත් වූහ.
 
උපතින්ම ලැබුණු දුප්පත්කම ඇයගේ ඉගෙනීමටද බාධාවක්‌ වූවාය. එම නිසා ඇයට හරි හමන් අධ්‍යාපනයක්‌ ලැබීමට නොහැකි වූවාය. සම වයසේ මිතුරු මිතුරියන් උසස්‌ අධ්‍යාපනය ලබද්දී ඇය ඇඟලුම් කම්හලක සන්නාලියක ලෙස රැකියාව කළාය. ඒ තම පවුලේ සාමාජිකයන් වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීම සඳහාය.
 
අතිශය රූමත්කම විටෙක ඇයට කරදරයක්‌ විය. පාර තොටේ නිදහසේ ගමනක්‌ බිමනක්‌ යැමට පවා ඇයට නොහැකි විය. ඒ බොහෝ තරුණයන් ඇයගේ ආදරය ලබා ගැනීමට පසුපසින් පැමිණෙන නිසාය. එහෙත් ඒ වන විටත් ඇය තරුණයන් කිහිප දෙනෙක්‌ සමග ප්‍රේම සම්බන්ධතා ගොඩනඟාගෙන තිබුණි. ඒ සියල්ල ස්‌ථිර ඒවා නම් නොවුණි.
 
තිලාන් ජයසිංහ බෙන්තොට මිරිස්‌වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි. විවාහකයකු වන ඔහු එක්‌දරු පියෙකි. රැකියාව වශයෙන් සිදුකළේ ඇඟලුම් කම්හලක සේවය කරන තරුණියන් පිරිසකට ප්‍රවාහන පහසුකම් සපයා දීමයි. ඒ තමන්ට අයිති වෑන් රථයෙනි.
 
සුරංගි ඇඟලුම් කම්හල වෙත ගියේ නිලාන්ගේ වෑන් රථයෙනි. කලක්‌ ගත වෙද්දී දෙන්නා අතර දැඩි මිත්‍රත්වයක්‌ ගොඩනැඟුණි. එය තම තමන්ගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගන්නා මට්‌ටම දක්‌වා වර්ධනය විය. කොතරම් සමීප වුවත් තිලාන් විවාහක පුද්ගලයකු බව ඇයට හැඟවූයේ නැත. ඒ ඔහු ඇයගේ රූමත්කමට වශීවී සිටි නිසාය. විවාහකයකු වූ තිලාන්ට උවමනා වූයේ කෙසේ හෝ ඇයගේ ආදරය ලබා ගැනීමටයි. ආදරය දිනාගත් පසු තමන්ගේ හිතේ තියෙන ආශාවන් ඉටුකර ගන්නා අයුරු ඔහු හොඳින් දනී.
 
සුරංගිද තිලාන්ට කැමත්තක්‌ දැක්‌වූවාය. තිලාන් ඒ බව හොඳින් දැන සිටියේය. තවත් කල් නොයවා සුරංගිට තම ආදරය පැවසිය යුතු යෑයි ඔහු කල්පනා කළේය. ඒ අනුව එක්‌ දිනක සන්ධ්‍යාවේ ඔහු ඇයට දුරකථන ඇමතුමක්‌ ගත්තේය.
 
"හලෝ නංගි"
 
"හලෝ කොහොමද අයියා"
 
"හොඳින් ඉන්නවා නංගි. මම ඔයාට කතා කළේ විශේෂ කාරණයක්‌ කියන්න."
 
"මොකද්ද අනේ ඔය විශේෂ කාරණය"
 
"ඒක මෙහෙම කියන්න බැහැ. මට ඔයාව හම්බවෙලා ඔය ඇස්‌ දෙක දිහා බලලා කියන්න ඕන"
 
"මොකද්ද අයියා ඒ, ඉතින් අපි හෙට වෑන් එකේදී හම්බ වෙනවනේ එතකොට කියන්න"
 
"එහෙම කියන්න බැහැ. එතන තව කට්‌ටිය ඉන්නවනේ"
 
"එහෙම කියන්න බැරිනම් දැන් කියන්න අගේ නොකර"
 
සුරංගිට තිලාන් පවසන්න යන්නේ කුමක්‌දැයි හොඳාකාරවම දැනුණි. එහෙත් ඒ බවක්‌ ඇය නොසඟවා කුතුහලයෙන් මෙන් තිලාන් සමග කතා කළාය.
 
"මම එකපාරක්‌ කිව්වනේ නංගි ඒක ෆෝන් එකෙන් කියන්න බැහැ. මට හම්බවෙලා කියන්න ඕන"
 
"මම ඒක දැන්ම අහන්න කැමැතියි. අගේ නොකර කියන්න. නැත්නම් මම තරහයි ඔයත් එක්‌ක."
 
"ඔච්චරම කියන්න කියවනම් මම කියන්නම් ඔයාට ඒක. මම ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි."
 
"ආ මොකද්ද කිව්වේ ආයේ කියන්න බලන්න" ඇය බොරු කුතුහලයක්‌ පෙන්වමින් එලෙස පැවැසුවාය.
 
"මම ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි" තිලාන් නැවත වරක්‌ එලෙස පැවැසුවේය.
 
"මමත්"
 
ඇය පැවැසුවේ එපමණි.
 
එලෙස පටන් ගත් තිලාන්-සුරංගි ආදර කතාව ලොවට හොර රහසේ මාසයක්‌ පමණ පවත්වාගෙන ගියහ. උගුරට හොරා බෙහෙත් බොන්න බැරුවා වගේම ලොවට හොරෙන් ඔහුනට ආදරය කිරීමටද නොහැකි විය. කලක්‌ යද්දී බොහෝ දෙනා තිලන් සුරංගි දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාව දැන ගත්තා. ඒ අනුව ඔවුන් දෙදෙනා එළිපිටම ආදරය කිරීමට පටන් ගත්තා.
 
සෑම සතියකම ඉරිදා ඔවුහු හමුවූහ. නිදහසේ පෙම් සුව වින්දහ. ඒ අතර තිලාන් තමන්ගේ හිතේ තිබුණු සියලු ආශාවන් ඇයගෙන් ඉටුකර ගත්තේය. කලක්‌ එලෙස ගතවෙද්දී තිලාන් විවාහකයකු බව ඇය දැනගත්තාය. එහෙත් ඇය තිලාන් අතහැර දැමීමට අකැමැති වූවාය. දිගටම ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගියාය. සුරංගිගේ දෙමාපියන් පවා මේ පිළිබඳව දැන ගත්හ. ඔවුහු තරයේ කියා සිටියේ තිලාන් සමග තිබෙන සම්බන්ධය නවතන ලෙසයි. එහෙත් ඇය එසේ නොකළාය.
 
සුරංගිත් දැඩි ලෙස තිලාන්ට ආදරය කළාය. ඇයට වුවමනා වුණේ කෙසේ හෝ ඔහු සමග විවාහ වීමටයි. දිනක්‌ ලැඟුම්හලකට ගිය අවස්‌ථාවකදී ඔවුන් දෙදෙනා නිදහසේ හැසිරෙන අයුරු තිලාන්ගේ නීත්‍යනුකූල බිරිඳට අසා සිටීමට සුරංගි සැලැස්‌වීය. ඒ හොර රහසේ තිලාන්ගේ බිරිඳට ඔහුගේම ජංගම දුරකථනයෙන් ඇමතුමක්‌ ලබාගෙන එය විසන්ධි නොකර තිබීම හරහාය.
 
තිලාන්ගේ බිරිඳ තම සැමියා අනියම් තරුණියක්‌ සමග කාමරය ඇතුළේ කරන දේවල් සියල්ල අසාගෙන සිටියාය. ඇයට තම සැමියා ගැන විශාල පිළිකුලක්‌ මෙන්ම කේන්තියක්‌ද ඇති වූවාය. මෙවන් මිනිසුන් සමග රණ්‌ඩු සරුවල්වීම කිසිසේත් වැඩක්‌ නොමැති බව ඇයට අවබෝධ විය. ඇය දැඩි තීරණයක්‌ ගත්තාය. ඒ අනියම් සම්බන්ධතා පවත්වාගෙන යන තම ස්‌වාපුරුෂයාගෙන් දික්‌කසාද වීමටයි. අවුරුද්දක්‌ වයසැති ඔවුන්ගේ සිඟිති පුතාවද ස්‌වාමියාට භාරදී ඇය තිලාන්ගේ නිවසින් පිට වූවාය. අවසානයේ වැඩිහිටියන්ගේ වැරදි නිසා වන්දි ගෙවීමට සිදුවුණේ කිසි දෙයක්‌ නොදන්නා අහිංසක කිරි සප්පයාටයි.
 
තිලාන්ගේ නීත්‍යනුකූල පවුල් ජීවිතය එලෙස අවසන් විය. තිලාන් දෙමාපියන්ගේ සහයෝගයෙන් තම සිඟිති පුතාව හදා වඩා ගන්නට විය. ඒ අතර ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ අධිකරණයේ දික්‌කසාද නඩුවක්‌ දමා තිබුණි. වසර දෙකක්‌ පමණ ගත වුවත් එහි තීන්දුව ලැබී නොතිබුණි.
 
සියල්ල එසේ සිදුවෙද්දී තිලාන්-සුරංගි ප්‍රේම සම්බන්ධතාවද දිගටම පවත්වාගෙන ගියහ. සුරංගිගේ නිවැසියන් දැඩි ලෙස විරුද්ධ වුවත් ඇය ඒ ගැන එතරම් තැකුවේ නැත. අවසානයේ දෙදෙනා හොර රහසේම විවාහ ගිවිස ගත්හ. එහෙත් ඒ වන විටත් තිලාන් පළමු විවාහයෙන් නීත්‍යනුකුලව වෙන් නොවී තිබුණි.
 
අධිකරණයේ දික්‌කසාද නඩුව විභාග වුවත් තීන්දුවක්‌ ලැබී නොතිබුණි.
 
තිලාන් සුරංගි ආදර සම්බන්ධතාවට සිව් වසරක්‌ ගතවූහ. සෑම ඉරිදා දිනකම ඔවුහු අනිවාර්යයෙන් මුණ ගැසුණහ. පසුගිය සතියේ එක්‌ ඉරිදාවක සුරංගි තිලාන් මුණගැසීමට පැමිණියේ නැත. ඔහු කිහිප වරක්‌ම ඇමතුම් ලබා දුන්නත් ඇය ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැත. තිලාන් දිගින් දිගටම ඇමතුම් ලබා ගත්තේය. මඳ වේලාවක්‌ ගතවෙද්දී සුරංගිගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත විය. 
 
කලක සිට දෙදෙනා අතර රණ්‌ඩු සරුවල් ඇති වූහ. ඒ තිලාන් නිතරම සුරංගි ගැන සැක සිතූ නිසාය. ඔහු සිතුවේ සුරංගි තවත් පුරුෂයන් කිහිප දෙනකු සමඟ යහළු බවයි. එදින ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්‌වා පසුව ජංගම දුරකථනය ක්‍රියා විරහිත කිරීම පිළිබඳවද තිලාන් සිටියේ දැඩි සැකයකිනි. "මම පස්‌සේ බලා ගන්නම් ඒක" තිලාන් එලෙස සිතුවේය. 
 
"අම්මේ මම අද ගොඩක්‌ ලස්‌සනයි නේද?" "මගේ දුව කවදත් ලස්‌සනයිනේ... ඇයි එකපාරටම එහෙම ඇහුවේ..."
 
"නැහැ අම්මේ... විශේෂයක්‌ නැහැ. ඒ වුණාට වෙනදට පේන්නෙ නැති අමුතු ලස්‌සනක්‌ අද මගේ මූණෙන් මටම පේනවා. ඒකයි ඇහුවේ..."
 
සුරංගි එලෙස පවසමින් මවටද වැඳ නිවසින් පිටවූවාය. එදින තමා නිවසින් පිට වූයේ යළි කිසිදු දිනක නොපැමිණෙන්නට බව ඇය දැන සිටියේ නැත. සුපුරුදු පරිදි ඇඟලුම් කම්හලට ගිය ඇය තම රාජකාරියේ නිරත වූවාය. සේවය නිමවී ඇය තිලාන්ගේ වෑන් රථයට ගොඩවූවාය. ඒ තම නිවස බලා ඒම සඳහා ය. 
 
තිලාන් සුරංගිට පැවසුවේ ඇය සමඟ කතා කිරීමට අවශ්‍ය බවයි. ඇය එය මඟහැරීමට උත්සාහ කළාය. එහෙත් තිලාන්ගෙන් එයට අවසරයක්‌ නොලැබුණි. ඔහු වෑන් රථය කිසිවෙකුත් නැති පාළු ඉසව්වක නැවැත්තුවේය. එලෙස නවතා සුරංගිගෙන් මෙලෙස විමසුවේය. 
 
"ඊයේ මම කෝල් කීයක්‌ ගත්තද? ඇයි ආන්සර් කළේ නැත්තේ..."
 
"ෆෝන් එකේ බැටරි බැස්‌සා. ඒකයි ආන්සර් කරන්න බැරිවුණේ..."
 
"එහෙනම් චාර්ඡ් කර ගන්න තිබුණනේ. ඊයේ තමුසේ ගෙදර නොවෙයි හිටියේ... කා එක්‌කද කොහෙද ගියේ මට ඇත්ත කියනවා. මම සේරම දන්නවා ගිය තැන්..."
 
තිලාන් තර්ජනාත්මක ස්‌වරූපයකින් එලෙස පැවසුවේය. 
 
"ඉතින් දන්නව නම් මගෙන් අහන්නේ මොකටද?"
 
සුරංගිත් ඇඟට පතට නොදැනී එසේ පැවසුවාය. තිලාන්ට එය අසා තවත් කේන්ති ගියේය. කේන්තිය පාලනය කරගත නොහැකිවූ ඔහු අසභ්‍ය වචනයක්‌ පවසමින් සුරංගිගේ කට මිරිකමින් ඇත්ත පවසන ලෙස යළිත් පැවසුවේය. 
 
"මම යාළුවෙක්‌ගෙ ගෙදර ගියේ. එච්චරයි. කරුණාකරලා මට පාඩුවේ යන්න දෙනවා"
 
"මොකක්‌ද උඹ කිව්වේ... පාඩුවේ යන්න දෙන්න. කියපන් ඊයේ ගිය තැන නැත්නම් මම නරක මිනිහ කියන්න එපා"
 
"එක පාරක්‌ කිව්වනේ ගිය තැන. මොන කරදරයක්‌ද මේක. මට පාඩුවේ ඉන්න දෙන්න"
 
සුරංගිට කීමට හැකි වූයේ එපමණි. ඒ සමඟම තිලාන් ඇයගේ කම්මුලට පහරවල් කිහිපයක්‌ එල්ල කළේය. නොසිතූ මොහොතක එල්ල වූ එම කම්මුල් පහරවල් කිහිපයෙන් දැනුණු වේදනාව ඇයට දරා ගැනීමට නොහැකි වූවාය. ඒ සමඟම ඇයද තිලාන්ට පහරවල් කිහිපයක්‌ එල්ල කළාය. තත්ත්වය එන්න එන්නම දරුණු විය. ඔවුන් දෙදෙනාගේ දබරය බේරීමට කිසිවෙකුත් අසල නොසිටියේය. තිලාන් එක්‌වරම වෑන් රථය තුළ තිබුණ යකඩ පොල්ලක්‌ රැගෙන සුරංගිගේ ඔළුවට වැරෙන් ප්‍රහාරයක්‌ එල්ල කළේය.
 
යකඩ පොලු පහරත් කාගෙනම සුරංගි වෑන් රථය තුළ ඇද වැටුණාය. විනාඩි කිහිපයක්‌ ගතවිය. ඇයගෙන් කිසිම ප්‍රතිචාරයක්‌ නොමැත. ඒ වන විට තිලාන්ගේ කේන්තිය මඳක්‌ පහව ගොස්‌ තිබිණි. වතුර බෝතලයක්‌ රැගෙන සුරංගිගේ මුහුණට ඉස්‌සේය. එහෙත් කිසිදු ශබ්දයක්‌ නොමැත. තත්ත්වය දරුණු වී ඇති බව ඔහුට අවබෝධ විය. තම පෙම්වතිය අසල තිබූ කරාපිටිය රෝහල වෙත ඔහු ගෙන ගියේය. ඒ යන අතරමඟ දහසකුත් දේ ඔහුට කල්පනා විය. 
 
ඇත්ත පැවසුවොත් තමන් අමාරුවේ වැටෙන බව ඔහුට අවබෝධ විය. එම නිසා රෝහල් කාර්ය මණ්‌ඩලයට මුසා බසක්‌ පැවසිය යුතු යෑයි ඔහු තීරණය කළේය. ඒ අනුව ඔහු සුරංගිව රෝහලට ඇතුළත් කළේ රිය අනතුරක්‌ සිදුවී මඟ වැටී සිටියදී මෙලෙස රැගෙන ආ බව පවසමින්ය. ඇයව රෝහලට ඇතුළත් කළ පසු තිලාන් පලා ගියේය. එහෙත් රෝහලේ ප්‍රධාන දොරටුවේ සිටි ආරක්‌ෂක නිලධාරීන් තිලාන්ගේ වෑන් රථයේ අංකය සටහන් කරගෙන තිබිණි.
 
රෝහලට ඇතුළත් කරන විටත් සුරංගි මියගොස්‌ තිබිණි. පසුව අදාළ පොලිසියට මේ බව දැන්නුවේය. ඒ අනුව පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ විය. මරණ පරීක්‍ෂණයේ දී හෙළිවූයේ මොට ආයුධයකින් ඔළුවට පහරදීම නිසා ඇයගේ මරණය සිදුවී ඇති බවයි. වෑන් රථයේ අංකය ඔස්‌සේ පොලිසිය පරීක්‍ෂණ පවත්වා තිලාන්ව අත්අඩංගුවට ගත්තේය. ඒ අනුව ඔහු සිදුවූ සියල්ල අකුරක්‌ නෑර පොලිස්‌ නිලධාරින්ට පැවසුවේය.
 
කාමයට ලොල්වී අනියම් ඇසුරක්‌ පවත්වාගෙන යමින් පළමුව තම පවුල් ජීවිතය විනාශ කරගත් තිලාන් යළිත් වරක්‌ වියරු වැටී අහිංසක තරුණියක්‌ද ඝාතනය කර දැමුවේ තම අනාගතයද අඳුරු කර ගනිමින්ය. දැන් ඔහු බන්ධනාගාරයේ සිට දස දහස්‌ වාරයක්‌ තමා අතින් සිදුවූ වැරැදි ගැන පසු තැවෙනවා ඇත. එහෙත් තිලාන් දැන් ප්‍රමාද වැඩිය.

සටහන : ගයාන් සමරසිංහ/ දිවයින

YOU MAY ALSO LIKE