Sunday, March 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලේ පරීක්‍ෂා කරන්නැයි කියූ දොස්තරගේ කීම ඉවතලා කපුවකු ලවා දෙහි කප්පවා ගත් තිදරු පියා මරුට - කලුතරින් අවාසනාවන්ත කතාවක්!

4272Views

වෛද්‍යවරයකු ලේ පරීක්‍ෂා කර ගන්නා ලෙස නියම කර තිබියදී එසේ නොකොට කපුවකු ලවා දෙහි කප්පවා ගත් බව කියන තිදරු පියකු මියගිය අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. 
 
මෙසේ මියගොස්‌ ඇත්තේ පැලවත්ත වෙලේගෙවත්තේ පදිංචිව සිටි සිරිමාන්න ආරච්චිගේ විපුල ශාන්ත නමැති (42) හැවිරිදි අයෙකි. ඒ සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී මියගිය තැනැත්තාගේ බිරිඳ පැවසූවේ මෙලෙසිනි.
 
"මියගොස්‌ ඇත්තේ මගේ සැමියායි. අපට දරුවන් තිදෙනකු සිටින අතර ඔහු රැකියාව වශයෙන් කුලී වැඩ කළා. මා දන්නා තරමින් ඔහුට බරපතළ අසනීපයක්‌ තිබුණේ නැහැ. ඉකුත් 05 වැනිදා රාත්‍රියේ ඔහු තමාට උණ වගේ කියල වේදනා නාශක පෙති ඉල්ලා ගෙන බිව්වා. ඊට පසු දින (06 වැනිදා) ඔහු බෙහෙත් අරගෙන ඇවිත් බිව්වා. ඇඟ රිදෙනවා කියලත් කිව්වා.
 
ඊට පසු දින ඔහුට බෙහෙත් ගේන්න කියල කිව්වම ගියේ නැහැ. ඒත් දවල් ගිහින් බෙහෙත් අරගෙන ආවා. සැමියාට ලේ පරීක්‍ෂා කර ගන්න කියා වෛද්‍යවරයා කියා තිබුණත් ඔහු ලේ පරීක්‍ෂා කරගන්න ගියේ නැහැ. සෙනසුරාදා (08) රාත්‍රියේ සැමියාට සිහිය මදිකමක්‌ තිබුණා. ඔහු විකාර කියෙව්වා.
 
ඊට පසු දිනවූ ඉරිදා (09) සැමියාව දෙහි කපන කෙනෙක්‌ ළඟට එක්‌ක ගිහින් දෙහි කැපුවා. මොහුට සෙනසුරු ඒරාෂ්ටකයක්‌ හා රාහු මහ දශාව ලබා ඇති බැවින් බෝධි පූජාවක්‌ පවත්වන්න කියල එතැනින් කිව්වා. ඊට පස්‌සෙ අපි ඔහුව ගෙදර එක්‌කරගෙන ආවා. ගෙදර ඇවිත් බත් කන ගමන් ඔහු විකාර කළා. නිදාගන්න කියල ගියත් නිදාගත්තේ නැහැ. ඊට පස්‌සෙ ඔහු තමාට එක එක්‌කෙනා කරදර කරනවා කියලා පොලිසි ගියා.
 
ඉන් පස්‌සෙ අපි ඔහුව ඔහුගේ මවගේ ගෙදරට එක්‌ක ගියා. අම්මා ඔහුව පිරිත් නූලක්‌ බඳින්න කියා පන්සලකට එක්‌ක ගිහින් තිබුණා. පන්සලේදී පිරිත් නූල බැඳපු හාමුදුරුවො කියලා තිබුණා පිරිත් නූල බැඳලා පන්සලෙන් එළියට යනකොටත් සනීප වුණේ නැත්නම් ඉස්‌පිරිතාලෙට එක්‌කගෙන යන්න කියල. පන්සලෙන් ආවට පස්‌සෙත් සනීප වුණේ නැති නිසා සැමියාගේ අම්මාත් මල්ලීත් ඔහුව මීගහතැන්න රෝහලට ගෙන ගොස්‌ තිබුණා. 11 වැනිදා ඔහු මියගියා."