Saturday, April 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘මහත්තයා සිංහල මම මුස්ලිම් - සිහි විකල් වෙනකම් කුඩු බීලා ගෑනු පිරිමි එක ගොඩේ සතුටු වුණා‘‘ ජීවිතය වරද්දාගත් තරුණියකගේ සංවේදී කතාව

13594Views

මේ වන විට මත්ද්‍රව්‍ය අපේ රට පුරාම ව්‍යාප්ත වුනු වසංගතයක් බවට පත්වෙලා. දිනෙනේ දින රටේ සෑම අස්සකින් මුල්ලකින්ම නොයෙක් ආකාරයේ මත්ද්‍රව්‍ය මහාපරිමාණයෙන් අත් අඩංගුවට පත්වනවා. මේ විදියට මත්ද්‍රව්‍ය නිසා තම ජීවිතයම විනාශ කරගත් තරුණ තරුණියන්, වැඩිහිටියන් ඕනෑ තරම් පෙන්වා දෙන්න පුලුවන්. ඒ වගේම මේ මත් රකුසාට ඇබ්බැහි වී සිටි අයද එහි ඇති අනිසි ඵල විපාක ගැනි නිසි ආකාරව හඳුනාගෙන එයින් මිදී තම ජීවිතය සාර්ථක කරගත් කතාද අපේ සමාජයේ අසන්නට දකින්නට ලැබෙනවා.

මේ සතිඅන්ත පුවත් පතක් විසින් වාර්තා කර තිබූ එවැනි සංවේදී කතාවක්.

සෙනෙහෙබර මවක් සිඟිති දරුවෙක් තුරුළු කරගෙන සිටීම සාමාන්‍ය දැකුමකි. එහෙත් බිත්ති සතරකින් වට වූ මත්ද්‍රව්‍ය විශෝධන මධ්‍යස්ථානයක තවත් කාන්තාවන් රැසක් අතර, සාමාන්‍ය කාමරයක තරුණ මවක් අත දරුවෙක් සමඟ ජීවත්වනවා දැකීම විරලය. එවැනි හද කකියවන දසුනක් පසුගිය දිනක අපි මත්ද්‍රව්‍ය විශෝධන මධ්‍යස්ථානයකදී දුටිමු. මෙවැනි දසුන් දැකීම ද සිත් පාරවන්නකි. එහෙත් තැවුණු සිත පාලනය කරගෙන අපි ඒ තරුණ මව සමඟ කතා බහාකළෙමු.

ඇය කොළඹ ගෙන්දගම් පොළවේ ජීවත් වන මුස්ලිම් කාන්තාවකි. සිංහල තරුණයකු සමඟ අතිනත ගෙන ආදරයෙන් බැඳුණු ඔවුන් දෙපළට දරුවන් තිදෙනෙකු සිටිති. එහෙත් හිරිමල් තරුණවියේ සිට මත් කුඩුවලට ඇබ්බැහි වූ මේ අඹුසැමි යුවළට මතින් තොර ලොවක් නැති විය. දරුමල්ලන් ලැබී පුංචි පවුල ටිකෙන් ටික වැඩුණ ද ඔව්හු දිනෙන්, දින මත් කුඩුවලටම ඇලූණහ. දරුවන්ට පිටි පැකට් එක නැති වුවද, කුඩු පැකට් එක නොමැතිව ජීවිතයක් නැති තරමට ඔවුහු මත් කුඩුවලට ඇබ්බැහි වූහ. කුඩු බීමට මුදල් අතේ නැති වන විට මත් කුඩු විකිණීමට ඔව්හු පෙළඹුණහ. ඔවුන් කුඩුත් සමඟ නීතියේ රැුහැනට කොටු වී හිරේ ගිය වාර අනන්තය. ඇයගේ සැමියා කුඩුත් සමඟ පොලිසියට කොටු වී අදට ද හිරේය. ඔවුන් ගත කළ මත්ලෝලී කාලකණ්ණි ජීවිතය ගැන කලකිරුණු ඇය දරුවන් ගැන සිතා මතින් නිදහස් වීම සඳහා මේ විශෝධන මධ්‍යස්ථානයට පැමිණ සිටින්නීය. 

තරමක් දැනුම් තේරුම් ඇති වැඩිමහල් දරුවන් දෙදෙනා තම නැන්දණියට භාරදී ඇය අත දරුවා රැුගෙනැවිත් ඇත්තේ අත්තම්මාගේ ලේ කිරට නොහැරෙන නිසාය. ඉදිරියේ අසුන්ගෙන සිටින ඇයගේ උකුලේ සිට පුංචි සිඟිත්තිය අප වෙතට සුරතල් සිනා පාති. විටෙක මවට තදින් තුරුලූ වී සිපගනිති. හොඳින් වැඩුණු, ප‍්‍රියමනාප සුදු දෝණිය හුරතල් වන අයුරු දකින විට අපට රාජකාරිය අමතක විය. වචන මුමුණන සිඟිත්තියගේ හුරතල් බහට මායම් වී සිටි අපි පියවි සිහියට පැමිණ මවට කතා කළෙමු. නම් ගම් මන:කල්පිත කරමින් අපි ඇයට අලූත් නමක් පටබැන්දෙමු. ඒ ‘සිත්ති...’ දැන් කතා කරන්නේ සිත්තිය. ඇය අපට කියන්නේ මත් කුඩු නිසා ඔවුන්ගේ ජීවිත කුඩු වූ කතාවය...

‘‘අපි ජීවත් වෙන්නේ කොළඹ කුණු ඇළක් අද්දර. මගේ මහ ගෙවලූත් කොළඹ බොරැුල්ලෙ. මහත්තයා මීගමුවේ. එයත් කුඩු බොන කෙනෙක්. අපි දෙන්නා අඳුරගත්තේ මා ළඟට කුඩු ගන්න ඇවිත්. එතකොට මම කුඩු විකුණනවා...’’ ඇයගේ මුව මෙන්ම ඇසුත් කතා කරන ගානය. නාරි දේහයකින් හැඩකාර, සුකුමාල ඇයට තවමත් වයස අවුරුදු තිස්හතරකි. මත් කුඩුවලට ඇබ්බැහි නොවෙන්න ඇය සැබෑම සුරූපිණියකි. එහෙත් දැන් ඇයගේ දත්මුල් දිය වී මුහුණ ගිලා බැස ඇත්තේ මත් කුඩුවල විෂටය.

‘‘මම ඉස්කෝලේ ගියේ දහය වසර පන්තියට විතරයි. ඊට පස්සේ නැන්දලාගේ ගෙදර ගිහින් නතර වුණා. නැන්දලා ජීවත් වුණෙත් කොළඹ වත්තක. ටික දවසක් යනකොට ඒ වත්ත මට හොඳට හුරු වුණා. වත්තේ යාළුවො ඇති වුණා. වත්තේ කෙල්ලො හතර දෙනෙක් මගේ හොඳම යාළුවො වුණා. ගමන් බිමන් ගියේ, කෑවේ බිව්වේ අපි පස් දෙනා එකට. එහෙම ඉන්නකොට අපිට හිතුණා කුඩු චුට්ටක් බීලා බලන්න. ඒ වත්තට කුඩු, ගංජා කියන්නේ සාමාන්‍ය දෙයක්. වත්තේ සීයක් පදිංචි වෙලා හිටියා නම් අසූවක්ම මත්ද්‍රව්‍ය පාවිච්චි කෙරුවා. කුඩු බිව්වේ නැත්තේ පුංචි උනුයි, ඇවිදගන්න බැරිව හිටිය ආච්චිලා, සීයලයි විතරයි...’’

‘‘කුඩු පැකට් එකක් අරගෙන අපි පස්දෙනත් එක්කම බිව්වා. හොඳ ෆිලීන් එකක් දැනුණා. දෙවැනි දවසෙත් කුඩු පැකට් එකක් අරගෙන බිව්වා. සතියක්, දෙකක් යනකොට කුඩු පැකට් එක අපිට ගෑවෙන්නත් මදි වුණා. ඊට පස්සේ අපි එක වේලකට කුඩු පැකට් දෙක, තුනක් ගත්තා. එහෙම දවසින්, දවස අපි බොන කුඩු පැකට් ප‍්‍රමාණය වැඩි වුණා. උදේ කුඩු බොන්න පටන් ගත්තම ? නින්දට යනකම්ම කුඩු බොන තත්ත්වයට පත් වුණා. ටික දවසක් යනකොට අපිත් එක්ක කුඩු බොන්න වත්තේ කොල්ලො තුන්හතර දෙනෙකුත් සෙට් වුණා. ඊට පස්සේ අපිට සල්ලි නැති වුණත් ඇති වෙන්න මත් වෙන්න කුඩු තිබුණා. සිහි විකල් වෙනකම් කුඩු බීලා මත් වෙලා ගෑනු පිරිමි එක ගොඬේ සතුටු වුණා. හරිම විනෝදයෙන් අපේ ජීවිත කුඩු වුණා. අපි ගෑනු වෙච්ච හැටි දන්නෙ ඇඳගෙන හිටිය මල් ගවුම් විතරයි...’’

‘‘මම කුඩු බොන්න ගන්නකොට වයස අවුරුදු දහඅටක් විතර ඇති. කුඩු බිව්වා කියලා මට බණින්න, ගහන්න කවුරුවත් හිටියෙත් නෑ. අතේ සල්ලි තියෙනවා නම් කුඩු බොන්න ඕන තරම් නිදහස තිබුණා. ඒ නිදහසෙන් උපරිම ප‍්‍රයෝජනය අරගෙන ඇති වෙන්න කුඩු බිව්වා. ඇති වෙන්න දේකුත් නෑ, නැති වෙන්න දේකුත් නැති වුණහාම මම වත්තේ කුඩු විකුණන්න පටන් ගත්තා. පෑලියගොඩ තැනකින් කුඩු අරගෙන පැකට් කරලා විකුණුවා. මම ගත්තේ කුඩු ග‍්‍රෑම් එක අටදාහයි. ඒකෙන් පැකට් දහසයක් හදලා එක පැකට් එකක් රුපියල් දාහගාණේ විකුණුවා. එක දවසට රුපියල් දහ පහළොස්දාහක කුඩු විකුණුවා. ඒ හම්බ කරපු සල්ලිවලින් හත්අටදාහක් කුඩු බොන්න වියදම් කළා. බිස්නස් එක පටන් අරගෙන ටික දවසක් යනකොට වත්තේ හොඳ ෆේමස් කුඞ්ඩියක් වුණා. නම කිව්වම අහල, පහල වතුවල අයත් මාව අඳුරන ගානට පත් වුණා. එහෙම බිස්නස් එක කරගෙන යනකොට දවසක් වත්තට පොලිසිය පැනලා කුඩුත් එක්ක මාව කොටු වුණා. ඇප නැති වුණා. මාස තුනකට ඇතුළට ගියා. හිරගෙදර කියලා කුඩුවලින් අඩුවක් තිබුණේ නෑ. ඊෂි කෑෂ් එක යවන සුනංගුවට මගේ අතට කුඩු පැකට් එක ආවා. කෑම, බීම ටික ගෙදරින්, යාළුවො ගෙනත් දුන්නා. ඒත් නිදහසක් නැති හිරගත ජීවිතේ නම් මට තිත්ත වුණා. මාස තුන ගෙවනකම් ඇඟිලි ගැන, ගැන හිටියා...’’

‘‘හිරෙන් නිදහස් වෙලා ආපු දවසේ ඉඳලා මම නැවත බිස්නස් පටන් ගත්තා. බිස්නස් කරගෙන කුඩු බීගෙන ආතල් එකේ ඉන්නකොට තමයි මගේ මහත්තයා මුණගැහුණේ. එයා එතකොට කොළඹ රස්සාවක් කළා. එතකොටත් එයා හොඳටම කුඩු බොනවා. කුඩු පැකට් එක ගන්න ආවේ මා ළඟට. වෙන පිරිමි වගේ නෙමෙයි එයාව දැකපු පළමු දවසේ ඉඳලා මට හරි අමුත්තක් දැනුණා. ටික දවසක් යනකොට එයත් මං ගැන උනන්දු වෙනවා කියලා මට තේරුණා. හැබැයි වෙන පිරිමි වගේ මස් කඩාගෙන කන්න වගේ මගේ ඇඟ දිහා බලාගෙන තොල් කෑවේ නෑ. ළෙන්ගතු විදිහට මගේ දිහා බැලූවා. කතා බහ කළා. එයා වත්තට එනකං මමත් මග බලාගෙන ඉන්න තත්ත්වයට පත් වුණා. ඔහොම යනකොට දවසක් එයා කෙළින්ම ඇහුවා ‘මම ඔයාට කැමැතියි... ඔයා මොකද කියන්නේ...’ කියලා. ගත් කටටම මමත් කිව්වා කැමතියි කියලා. ඊට පහුවෙනිදා ඉඳලම අපි දෙන්නා එහේ මෙහේ ගියා. මම කිසිම දෙයක් එයාට හැංගුවේ නෑ. මම මුස්ලිම්. එයා සිංහල. මට වඩා අවුරුදු පහකින් බාලයි. ඒත් ජාති බේද, වයස් පරතරය අපිට ප‍්‍රශ්න වුණේ නෑ. දෙපැත්තේම ගෙවල්වලිනුත් අපේ සම්බන්ධයට ප‍්‍රශ්න දැම්මේ නෑ. ඒ වගේම අපි දෙන්නා අතර රහස් තිබුණෙත් නෑ. සම්බන්ධය පටන් ගත්ත දවසේ ඉඳලා අපි දෙන්නා එකට කුඩු බිව්වා...’’

‘‘කසාද බැන්දා කියලා කිසිම වෙනසක් වුණෙත් නෑ. කසාඳය අත්සන් කරපු දවසේ අඹු සැමියන් විදිහට හිටියෙත් දෙන්න එක්ක හොඳටම කුඩු බීලා. එදා ඉඳලා හැමදාම උදේ නැඟිට්ට පැදුරෙන්ම දෙන්නා එක්ක කුඩු බිව්වා. සමහර දවස්වලට එයා කුලී වැඩවලට ගියා. නැති නම් මට කුඩු පැකට් කරන්න, විකුණන්න උදව් කරගෙන ගෙදරට වෙලා හිටියා. මම තනියෙන් කරනවට වඩා බිස්නස් එක වැඩි වුණා. ඒත් අපි දෙන්නටම කුඩු බොන්න ඒ ලැබෙන ආදායමත් මදි වුණා. කැට පහක් විකුණුවොත් කෑලි පහක් අපි දෙන්නා බිව්වා. අපි දෙන්නට කුඩු බොන්න විතරක් දවසකට රුපියල් දහදාහක් විතර වියදම් වුණා. කෑව බිව්වා, ලස්සනට ඇඳලා, පැළඳලා හිටියා. හම්බ කරන සේරම සල්ලි ජොලියට වියදම් කළා. ජීවත් වුණේ කුලී ගෙදරක. එහෙම ඉන්නකොට ලොකු දරුවා හම්බ වෙන්න ආවා. පුතා හම්බ වෙලා කිරි බීලා ඉවර වෙන්නත් කලියෙන් දෙවැනි දරුවත් ලැබෙන්න ආවා. දරුවො ලැබෙන්න හිටියා, දරුවො ලැබුණා කියලා මගේ බිස්නස් එක නතර වුණේ නෑ. හැබැයි දරුවො ලැබෙන්න ඔන්න, මෙන්න දවස්වල කුඩු බිව්වේ නෑ. හම්බ වෙලත් ටික දවසක් යනකම් කුඩු බිව්වේ නෑ. ප‍්‍රසූති වේදනාව දරාගන්න පුළුවන් වුණත් කුඩු සික් එක මට 

දරාගන්න බැරි වුණා. දරුවො ලැබිලා කිරි දෙන කාලේ කුඩු සික් එක ඉවසගෙන හිටියා. කිරි නතර කරපු ගමන් ආයෙමත් කුඩු බොන්න ගත්තා...’’

‘‘දරුවො දෙන්නා ටිකක් ලොකු වෙනකොට නැන්දම්මා ළඟ නතර කරලා ඉස්කෝලේ ඇරියා. අපි දෙන්නා විතරක් වත්තට ඇවිත් කුඩු බිස්නස් එක කරගෙන ජීවත් වුණා. එහෙම යනකොට ආයෙමත් වතාවක් කුඩුත් එක්ක පොලිසියට කොටු වෙලා මම බන්ධනාගාරගත වුණා. ඒ වතාවෙත් මාස තුනකින් නිදහස් වෙලා ආවා. මම ඇතුළට ගියා කියලා බිස්නස් නතර වෙලා තිබුණේ නෑ. මගේ මනුස්සයා බිස්නස් එක හොඳට කරගෙන ගිහින් තිබුණා. මගේ කුඩු බිස්නස් එක නතර වුණේ හිරේ ඉන්න මාස කිහිපයේදී විතරයි. එළියේ හිටපු හැමදාම බිස්නස් එක කළා. හතර වතාවක් හිරේ ගිහින් තියෙනවා. දරුවො දෙන්නා නැන්දම්මා ළඟ හැදෙන නිසා මම හිරේ ගියා කියලා ඒ අයට ගානක් නෑ. අන්තිම වතාවේ හිරෙන් නිදහස් වෙලා ඇවිත් බිස්නස් එක කරගෙන ජීවත් වෙනකොට චූටි දුවත් ලැබුණා...’’

‘‘චූටි දුවට වයස අවුරුදු දෙකහමාරයි. ලොකු පුතාට දහයයි. දෙවැනි දුවට අටයි. ලොකු දරුවො දෙන්නා වගේ නෙමෙයි චූටි දුව මම නැතිව එක රැුයක්වත් ඉන්නේ නෑ. දැන් දරුවා නැතිව මටත් ඉන්න බෑ. මෙයා මගේ පණ වගේ. යන ඕනෑම තැනක අරගෙන යනවා. චූටි දුව බඩට ආපු දවසේ ඉඳලා මට කුඩු අප්පිරියයි. කුඩු බීපු ගමන් වමනය ගියා. දුව ලැබිලත් මාස හය, හතක් යනකම් කුඩු බිව්වේ නෑ. කුඩු ගොඬේම ලැඟගෙන හිටිය නිසා නැවත කුඩුවලට ඇබ්බැහි වුණා. ඒත් මගේ හිත කිව්වේම මේ කාලකණ්ණි රස්සාවෙන් ඉවත් වෙන්න කියලයි. මහත්තයා කුඩු එක්ක පොලිසියට කොටු වෙලා හිරේට ගියාට පස්සේ කුඩු බිස්නස් එක මට එපාම වුණා. ජීවත් වෙන්න විදිහක් නැති නිසා බිස්නස් එක කරගෙන ගියා. ඒත් පොලිසියෙන් බේරුමක් ලැබුණේම නෑ. තවදුරටත් කුඩු කෙරුවාව කරන්න බෑ කියලා මට හිතුණා. එක්කො මැරෙන්න වෙනවා. නැති නම් ජීවිත කාලයටම හිරේට යන්න වෙනවා. එහෙම වුණොත් මගේ දරුවො තුන්දෙනාට යන එනමං නැති වෙනවා. ඒ නිසා සදහටම කුඩුවලින් ඈත් වෙන්න ඕන කියලා හිතාගෙන තමයි මේ ආයතනයට ආවේ...’’

‘‘දැන් මම මේ මධ්‍යස්ථානයට ඇවිත් මාස දෙකයි. මුල් සතියේ කුඩු නැති නිසා ඇඟට දරුණු වේදනාවක් දැනුණා. ඒක ඉවසගෙන හිටියා. දැන් නම් මට කුඩු අප්පිරියයි. කුඩු නැතිව හොඳට ජීවත් වෙන්න පුුළුවන්. ඒත් අපි ජීවත් වෙච්ච වත්තට යන්න බයයි. ඒක තනිකරම මත් වළක්. නැවත අපි වත්තට ගියොත් මත් වළට වැටෙනවාම තමයි. ඒක නතර කරන්න අමාරුයි. ඒ නිසා මහත්තයා හිරෙන් නිදහස් වෙනකම් මේ මධ්‍යස්ථානයේ ඉඳලා දරුවො තුන්දෙනාවත් අරගෙන අපි දුර පළාතක, පිටිසර ගමකට ගිහින් ජීවත් වෙනවා. එතකොට අපිට කුලියක් කරගෙන දරුවන්ට උගන්නගෙන මතින් නිදහස් වෙලා ජීවත් වෙන්න පුළුවන්. තවදුරටත් වත්තේ ජීවත් වුණොත් අපි වගේම අපේ දරුවොත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා හිරේ විලංගුවේ වැටිලා නාස්ති වෙලා යනවා. අපි කාලකණ්ණි වුණා වගේ දරුවන්ට එහෙම වෙන්න දෙන්න බෑ. ඒ නිසා අපි දෙන්නම තේරුම් අරගෙන කොළඹින් පිට වෙන්න කතා කරගත්තා. වත්තේ ජීවත් වුණෙත් කුලියට. මනුස්සයා රස්සාවට කළෙත් කුලී වැඩ. අපිට කොහේ ගියත් කුලී ගෙයක් අරගෙන කුලියක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්...’’

‘‘අවුරුදු දහසයක් එක දිගට කුඩු බිව්වා. කුඩු බිස්නස් කළා. හොඳට සල්ලි හම්බ කළා. ආතල් ගත්තා. ඒත් ඒ හැම දේකින්ම ලැබුණේ තාවකාලික සතුටක්. අපිට කියලා කිසිම දෙයක් ඉතුරු කරගෙන නෑ. තියෙන්නේ ඇඳගෙන ඉන්න ඇඳුම් කඩමලූ විතරයි. දැන් මට ඕන සල්ලි හම්බ කරන්න නෙමෙයි, පවුලක් විදිහට සතුටින් ජීවත් වෙන්නයි. මෙච්චර කාලයක් අපේ පවුල තුළ හස්බන්ඞ් විදිහට හිටිය මට බිරිඳක් වගේ ජීවත් වෙන්නයි. නැවත මම මෙතැනිං යන්නෙ අපි ජීවත් වෙච්ච වත්තට නෙමෙයි දුර ගමකට...’’ බොහෝ අයට කළ වැරැුදි අවබෝධ වන විට නැවත හැරෙන්නට නොහැකි තරමට බොහෝ දුර ගොස් සිටී. වයසින් අඩක්වත් ගෙවන්නට කලියෙන් සිත්තිට මතේ ආදීනව තේරුම් යෑම, කරුමක්කාර කුඩු වෙළෙඳාමෙන් මිදෙන්නට සිත් පහළ වීම ඒ දරු තිදෙනාගේ වාසනාවකි. එසේ නොවෙන්න නැඟිට්ට පැදුරෙන් තේ වෙනුවට හොර අරක්කු බොන, මත් කුඩු උරන නොදියුණු වතු සමාජයකදී සිත්තිලාගේ දරුවන් ද මත් වළට වැටීම නතර කළ නොහැකිය. 

කොළඹ වතු යනු සමාජය විනාශ කරන අවලං ගුබ්බෑයම්ය. කුඩු, ගංජා පැකට් වෙන්නේ ද, හොර අරක්කු පෙරෙන්නේ ද ඒ වතුවලය. මිනීමරුවන්, මංකොල්ලකාරයන්, පික්පොකට්කාරයන් ලගින්නේ ද ඒ වතුවලය. කුඩු පැකට් එක වෙනුවෙන් බිරිඳ වෙන මිනිහෙකුට විකුණන ‘පිම්පි‘ සැමියන් සිටින්නේ ද ඒ වතුවලය. එහෙව් වතු සංස්කෘතියකින් අජාසත්තලා මිස බුදුවරු බිහි වෙන්නේ නැත. අධ්‍යාපන දැනුමෙන් මොට වුවද දරුවන් සමඟ වත්තෙන් පිටවීමට සිත්තිලා ගත් තීරණය නුවණක්කාරය... අප එය අගය කළ යුතුය..

තරංග රත්නවීර - දිවයින