Monday, May 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කෝටි 700 දියමන්ති කොල්ලයට 'පැඟිරිවත්තේ සුද්දා'ත් අල්ලයි - මංකොල්ලයට විදේශිකයාත් සම්බන්ධයිලු!

4355Views

මහරගම ඇරැව්වල පන්නිපිටිය ප‍්‍රදේශයේ නිවසකින් කෝටි 700 ක් වටිනා බව කියනා දියමන්තියක් සහ මැණික් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල සමාජික 'පැඟිරිවත්තේ සුද්දා' නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

හිටපු පාතාල නායකයකු වූ ‘මොරටු සමන්’ නමැත්තාගේ ගෝලයකු වන මෙම පුද්ගලයා අදාළ කොල්ලයට යොදාගත් මෝටර් රථයද සමග ඊයේ දින(13) මෙලෙසින් මිරිහාන විශේෂ අපරාධ කොට්ඨාශයේ අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචි චමිල රංගන නොහොත් ‘පැඟිරිවත්තේ සුද්දා’ නමැත්තකු බව පොලිසිය පවසයි. මෙම සැකකරු ‘මොරටු සමන්’ නමැති පාතාල නායකයාගේ ගෝලයකුව සිට මොරටු සමන් ඝාතනය වීමෙන් පසු විවිධ පාතාල කණ්ඩායම් සමග එක්ව අපරාධවලට සම්බන්ධවී ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.

දියමන්ති කොල්ලයට මෙම සැකකරු සම්බන්ධවී ඇති බවට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලැබී තිබූ තොරතුරු මත දින ගණනක් විමර්ශන සිදුකර සැකකරු මෝටර් රථය සමග දෙල්කඳ ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලය සඳහා විදේශිකයකු ඇතුළු කණ්ඩායමක් සම්බන්ධ වී ඇති බවත් විදේශිකයා දියමන්ති සහ මැණික් මිලදී ගැනීමට පැමිණ සිටියදී පොලිස් නිලඇඳුමෙන් ගිනි අවි අතැතිව පැමිණි කණ්ඩායමක් දියමන්තිය සහ මැණික් සමග විදේශිකයාද පැහැර ගෙන ගොස් විදේශිකයා අතරමග දමා පලාගොස් ඇති බවත් හෙළිවී තිබේ.

මේ සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් මේ වන විට සැකකරුවන් සිව්දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙන අතර විදේශිකයා කොල්ලය සිදුකළ දිනට පසුදින විදෙස් ගතවී ඇති බවත් ඔහුද කොල්ලයේ සැකකරුවකු බවත් හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත් මෙලෙසින් මංකොල්ල කෑමට ලක්වූ දියමන්තිය, දියමන්තියක් නොවන වෙනත් පාෂාණයක් බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සිය මූලික පරීක්ෂණ වලදි පසුගිය දා ප්‍රකාශ කළේය.

YOU MAY ALSO LIKE