Saturday, April 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘ත්‍රීරෝද රථය අරන් දෙන්නනම් හප්පපු ත්‍රීවිලරයට තිබූ ලීසිං එක අවසන් කර දිමුත්ගේ නමට ලියන්න කියලා - තවත් කොන්දේසි රැසක්‘‘ දිමුත් නිසා අසරණ වුනු ත්‍රීරෝද රථ රියදුරු කතා කරයි..! (PHOTO)

46153Views

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න බීමතින් රිය පදවා ත්‍රීරෝද රථයක් අනතුරට ලක්කළ පුවත පසුගියදා බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. ඒ අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දිමුත් කරුණාරත්න විවෘත අධිකරණයේදි ප්‍රකාශ කර සිටියේ රිය අනතුරෙන් තුවාල ලැබු රියදුරාට සිය වියදමින් නව ත්‍රිරෝද රථයක් ලබා දෙන බවයි. නමුත් එම ත්‍රිරෝද රථ රියදුරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ ඒ සඳහා තමන්ට බොහෝ කොන්දේසි වලට යටත් වන්නට සිදුවූ බවයි.

පසුගියදා ශ්‍රී ලංකා ටෙස් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විසින් බීමතින් ආලෝක සංඥා නොසලකමින් අධික වෙිගයෙන් රිය පදවා අනතුරක් සිදුකිරීමෙන් තුවාල සිදුවූ ත්‍රීවිලර් කරු මම වෙමි. ක්‍රිකට් ලෝලීත්වය දැනට බොහෝ කලකට පෙර අවසන්ව ඇති නිසා පාන්දර හතර වෙනකම් වෙරිවී සිටීම ජාතික ක්‍රිකට් කන්ඩායමේ වෘත්තීය නායකයාට කැපද - අකැපද මට අදාල නැත. ටෙස් ලෝක කුසලාන නායකත්වය කාට හිමිවේද කිය බලාසිටින ක්‍රිකට් බෝඩ් එකේ අයට මැනේජර්ලාට වැදගත් වුනාට අපට අදාල නැත.

මම වත් මාගේ සිරුර පුරා තිබූ තුවාල වලට බෙහෙත් දැමූ තියර්ටර් එකේ එකම වෛද්‍යවරයෙක් නොදැන හිටියාට ලංකාවෙි ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස දුන් තෑග්ග සමරන්නට ඔහුට කරටි කැඩෙන්නට විසිකි බ්‍රැන්ඩි බැරිනම් කසියා වුනත් බොන්නට ඇති පරම අයිතියට මම අභියෝග නොකරමි. නමුත්, එදා හෝර්ටන් හන්දියේ රතු එලියට නවතා තිබූ වාහන අතරින් රිංඟා ඔබ සිදුකල අළුගෝසු රිය පැදවීම හමුවේ මා ත්‍රීරෝද රිය හරවා නොගත්තේනම්, හැමදාම කිහිලි දෙකේ මුහුන ඔබාගෙන නිදියන මගේ පුංචි සුරඟන පැටවුන්ට සක්විති රජුටත් වඩා වටිනා තාත්තා අද නැත. හැමදාම අලුත් කතාන්දරයක් කියාදෙන්නට කෙනෙක් නැත. ඔබ රටට ලෝකයට කොතරම් වටිනවා වුනත් මගේ පුංචි දරු පැටවුන්ගේ "තාත්තා" ඉදිරියේ පයිසයක් වටින්නේ නැත.

ඔබේ ජනප්‍රියමකම මොකක් වුනත් ⁣ඔබගේ පියා රොහලේ ඇඳ ලඟට නොඑන්නට, දින හතක් රිමන් නොවී ඔබට ගෙදර යන්නට නම් නොලැබෙනු ඇත.ක්ලබ් ගානේ රිංඟන උන් රෑට වාහන රේස් පැදීම අරුමයක් නොවුනත් "පුතා බොන කෙනෙක් නෙමේ එදාම වයින් ටිකක් බීලා, එක වැඩිවෙලා ඒකයි මේ අවුලකියද්දි එතකොට අර අනික් හිටපු කෙල්ලයි කොල්ලයිත් වැනි වැනී හිටියෙත් එදාම වයින් බීලඳ කියලා අහන්න හිතුනත්" එහෙම ඇහුවෙ නැත්තෙ මමත් තාත්තා කෙනෙක් නිසා ආපු අනුකම්පාවක් නිසාද? ඒ වෙනකොටත් අනතුරෙන් සිදුවූ කම්පනය නිසාද කියා මට තවම නිශ්චිත නැත.

ඒ කෙසේ වෙතත් දින දෙකක් රෝහල්ගතව සිට තවමත් නොන්ඩි ගසමින් අතක් ඔසවාගන්නට බැරිව, ගෙදර රෝල දුවාගන්න බිස්නස් එක අවුරුදු සීසන් එකේ හතරගාතේ වැටී තිබියදීත්, උසාවියේදී පොරොන්දුවු ත්‍රීවිලර් එක අරන් දෙන්නට අපේ හප්පපු ත්‍රීවිලරයට තිබූ ලීසිං එක අවසන් කර ඔබ නමට ලිවිය යුතුයි කියා කොන්දේසි දමද්දීත්. ඒ හැර සිදුවූ අලාභහානි වලට කිසිඳු වන්දියක් ගෙවන්නේ නෑ කියා කොන්දේසි දමද්දී ඒවාට එකඟ වන්නේ ඔබලාගේ වගකීම් විරහිත මීඩියාකෘත ජීවිත වලට වඩා අපගේ සරල වගකීමැති ජීවිත ආඩම්බරකාර නිසාවෙනි.

අනෙක තමන් සිදුකල වරද පිළිගෙන මාධ්‍ය සංදර්ශන වෙනුවට යුතුකම් ⁣හා වගකීම් ඉටු කිරීම වරදකරුගේ කාරිය මිස, හොටු පෙරා තුවාල වලට වන්දි ඉල්ලන්නට තරම් මම නිවටයෙක් නොවෙමි. ඔබේ ගිවිසුමේ හැම දේටම එකඟ වු මම මාධ්‍යට යමක් ප්‍රකාශ කරීමට බැහැ කියන කොන්දේසියට අත්සන් නොකලේ මාධ්‍ය ඉදිරියට ගොස් ඔබෙන් ගානක් කොටාගැනුමට නොව මගේ අත්දැකීම රටේ තව දරුවන් දෙතුන් දෙනෙකුගේ හෝ තාත්තලගේ ජීවිත සුරක්ෂිත කිරීමට දායවේ යැයි සිතීමය.

ඔබ දිමුත් හෝ වෙන කවුරු වුනත් අවුරුදු සමරන්න. ඕනෙනම් බොන්න. වීදුරුවක් හෝ බෝතලයක් කමක් නැත. හැබැයි වාහනයක් පදවන්නට හීනෙන්වත් නොහිතන්න. මන්ද කාගේ හෝ දරුපවුලක් වනසන ඊලඟ මඟමරුවා ඔබ විය හැක.
අවුරුදු සමරන්න, තවත් දිමුත් කෙනෙක් නොවන්න.